top of page
Search

දෑස නිලුපුල් තෙමා

  • මාධව විජේසේකර
  • Jun 26, 2017
  • 2 min read

හඬ : විශාරද ගුණදාස කපුගේ

පද : ප්‍රියානන්ද විජේසුන්දර

තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

දෑස නිලුපුල් තෙමා

කඳුළු මුතු වැල් සලා

දෙතොල සුසුමින් පුරා

ඉකිබිද​ හඬනු මල් මාලියේ...

නිහඬ හදවත් පොතේ ලියැවුණු

සොඳුරු ගී වැල් නැතේ මා තැනු

ඔබේ කඳුලැලි මා සිතේ

නිබඳ පදවැල් ඇඳේ....

පබළු මිණි මුතු නැතේ මා සතු

කඳුළු මුතු ඇත ඔබේ මා පැතු

තුසර පිණි ලෙස මල් මතේ

කඳුළු කොපුලේ රැඳේ......

විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ ප්‍රථම ගීතය වන මේ ගීතය රචනා කල ප්‍රියානන්ද විජේසුන්දර මහතා මතකය ආවර්ජනය කරන්නේ මෙහෙමයි.


"විශාරද ගුණදාස කපුගේ මට හමුවන්නේ සංගීත ක්‍ෂෙතයේ කොයි කවුරුන් උනත් කපුගේ හඳුනාගන්නට කළිනුයි. ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය අවසන් කොට ලංකාවට පැමිණෙන කපුගේ, විශාරද වින්සන්ට් සෝමපාල මහතාගේ කැස්බෑවේ ගයත්‍රි කලායතනයේ සිසු සිසුවියන්ට සංගීත අධ්‍යාපනය ලබා දුන්න. වින්සන්ට් සෝමපාල මහතාගේ නිවසේදී මට හමුවන කපුගේ හා මගේ ඇසුර තවත් වැඩිවන්නේ කපුගේ ගේ බාල සොහොයුරාද මාගේ මිතුරෙකු වීම නිසා.


ගුවන් විදුලියේ හඬ පාලකවරයෙකු ලෙස රැකියාව ලබා ගන්නා කපුගේ සෑම සෙනසුරාදා ඉරිදා දිනකම කැස්බෑවේ ගයාත්‍රි කලායතනයට පැමිණෙනවා. මේ සෑම දිනකම කපුගේ මම හමුවෙනවා. මේ වන විට ගීත දෙකක් හෝ තුනක් ලියා ඇති මට අංකුර ගීත රචකයෙක් විදිහට වරින් වර ගුවන් විදුලියට යාමටත් මට සිදු වෙනවා. එක් ‌දිනක් විශේෂයි. ගුවන් විදුලියට ඇතුළුවී කොරිඩෝව දිගේ ආපන ශාලාව වෙත ගමන් ගන්නා මට දහවන පටිගත කිරීමේ මැදිරියේ (Studio - 10) සිට පිටතට පැමිණෙන කපුගේ මුණ ගැසෙනවා.


"මචං දෙයියෝ දැක්කා වගේ"

එහෙම කිව්වේ කපුගේ.

"ඇයි ..?"

"මචං හැන්දෑවට මට සිංදුවක් tape කරන්න තියනවා. සනත් අයියට කියලා තනුවක් දාගත්ත."

"අදම ඕනේ ද?"

"ඔව් දෙකට Recording "

"හරි එහෙනම් කැන්ටින් එකට ගිහින් ප්ලේන්ටි දෙකක් බීලා සිගරට් දෙකක් ඇදල එමු."

අපි දෙන්නම ගුවන් විදුලියේ ආපන ශාලාවට ගිහින් studio 10 එකටආවා.

කපුගේ පියානෝව ළඟ වාඩිවෙලා ගීතය "ලා ල ලා ලා ල ලා" ආදී වශයෙන් ගයමින් පියානෝව වාදනය කළා.

මම කලේ මුල් වාදනයේදී ගීතයේ තනුව හිතට ගත්ත එක.

"ගුණේ තව සැරයක් ගහලා පෙන්වන්න."

මම ඉල්ලීමක් කළා. කපුගේ යළිත් වරක් මුල සිට අගට ගීතය වාදනය කළා. වචන වලින් තොරව.

මේ වන විට ගීතය පටිගත කරන්නට ගුනේට අවස්ථාව ලබා දුන් නිෂ්පාදක පී.ඩි. ස්ටීවන් මහතාත් වාදන මණ්ඩලයත් studio එකට ආවා.

"කපුගේ සිංදුව හරිද?"

එහෙම ඇහුවේ ස්ටීවන් අයියා.

"තව ටිකයි"

කපුගේ එහෙම උත්තර දුන්නත් ගීතයේ වචන තවම ලියලා නෑ.

"මචං උඹ ලියපං "

එහෙම කියපු කපුගේ ස්වර ප්‍රස්ථාර කොල ටික වාදක මණ්ඩලයට බෙදා දෙන්නට ගියා.


ගුවන් විදුලියේ 10 වන පටිගත කිරීමේ මැදිරියේ පියානෝව උඩ තියාගෙන මම ගීතය ලියා අවසන් කළා. ගීතය පටිගත කළා. විශාරද ගුණදාස කපුගේ නම් වූ ගායන ශිල්පියාගේ මුල්ම ගීතය බිහිවුනේ එහෙමයි. බොහෝ දෙනෙකු අහනවා මේ ගීතය ලියන්නට හේතුවුණු අත්දැකීම මොකක්ද කියලා ඇත්තමයි එහෙම අත්දැකීමක් මේ ගීතයට නෑ. කලාකරුවෙකු වහලෙන් වැටෙන වැහි බිංදු දකින්නෙත්, ඇසක කඳුළු දකින්නෙත් කොටින්ම කිව්වොත් මුළු ලෝකයම දකින්නෙත් අනිත් සාමාන්‍ය කෙනෙකු දකින විදිහට නෙමෙයි. ඔන්න ඕකයි මේ ගීතයේ අත්දැකීම."

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page