top of page
Search

ගම මහනුවරයි

  • මාධව විජේසේකර
  • Mar 12, 2018
  • 1 min read

හඬ : චන්ද්‍රකුමාර කඳනාරච්චි

පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව : උපාලි කන්නන්ගර

නිල් කඳුපවුරයි මහවැලි දිය අගලයි

විරුවන් දිනු මා ඉපැදුණූ ගම මහනුවරයි

ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා

රසඳුන් මල් ගොමු බිඟුසර නඟනා

සිහිලස දෙන වැව් කොමලිය රඟනා

සරුබිම හැමදා සිරිකත රැඳුණා

ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...

පඬිවරු යතිවරු නිරතුරු ගැවසේ

සිප්සත දී නිති සරසවි නිවැසේ

සඳළුතලා මත කිඳූරියො හිනැහේ

එහි උපදින්නට පින් කළ යුතුවේ

ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...


මේ ගීතය සඳහා තනුව නිර්මාණය වූ ආකාරය හරිම අපූරුයි. කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් සහ චන්ද්‍රකුමාර කඳනාරච්චි දෙදෙනාම මහනුවරින් බිහිවූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනෙක්. හැබැයි මේ ගීතය නිර්මාණය වන වකවානුවේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් පදිංචිවෙලා සිටියේ නාරාහේන්පිට තලකොටුවවත්ත ප්‍රදේශයේ හරියටම එතුමාගේ නිවස ඉදිරිපස නිවසේ සිටියේ අප අතරින් වියෝ වූ විජය කුමාරතුංගයන්.


මේ ගීතය නිර්මාණය වන්නේ කේ.ඩී.කේ. මහතාගේ නිවසේ ඉස්තෝප්පුවේ පඩිපෙලේ ඉඳගෙන. කඳනාරච්චි මහතාත් සිටිනවා. ගීතයේ තනුවට අවශ්‍ය මූලික පදනම වැටුණේ හරිම අපූරුවට. ඉදිරිපස විජය කුමාරතුංගයන්ගේ නිවසේ සිටියා සුරතලයට ඇති කල මුව පැටියෙක්. ඒ මුව පැටියාගේ බෙල්ලේ ගෙජ්ජියක් බැඳ තිබුණා. ඉතින් ගීතය නිර්මාණය වෙනකොටත් අර මුව පැටියා ඔළුව වනනවා, කන කහනවා. එහෙම කරනකොට අර ගෙජ්ජියත් හඬ නැගෙනවා. මේ ඔස්සේ අපූරු තනුවක් කඳනාරච්චි මහතාගේ හිතේ මැවෙනවා. ඔහු විසින් ගීතයේ වචන ලියා අවසන් වනවිට සියළුම සංගීත ඛණ්ඩ සහිතව තනුව මුමුණා අවසන්. එහි සංගීත සංයෝජනය කලේ උපාලි කන්නන්ගර මහතා විසින්.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page