top of page

මේ පාලු සීත රාත්‍රියේ


හඬ : චන්ද්‍රලේඛා පෙරේරා

පද : ප්‍රියානන්ද විජේසුන්දර

තනුව : සමන් කුඹුකගේ

මේ පාළු සීත රාත්‍රියේ..

කියාදෙන්න රහසින්.. ප්‍රේමය නම් කිමැයි කියා...//

නිදිමත තරුකැට කඩාවැටේ.. ඉඩදී අඳුරට අහස්තලේ... සඳ මල මිලිණව බලා හිදී.. දකිනතුරා අඩ නුවන් අපේ..

සඟවා ළය මත - ඔබෙ වත රහසින් කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ...

ගහකොල නිසලව බලා හිදී.. පවන් රොදක සිහිලසින් මිදී.. පිණිකඳුලැලි කැට කඩා වැටේ.. ඇහෙන තුරා පෙම්වදන් අපේ..

සුසුමක් සුසුමට ලංකර රහසින් කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

මේ පාළු සීත රාත්‍රියේ...

චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගයන මේ අතිශය ජනප්‍රිය ගීතය රචනා කලේ ප්‍රියානන්ද විජේසුන්දර මහතායි. එතුමා මේ ගීතය රචනා කල අයුරු මෙසේ දක්වනවා.


"සමන් කුඹුකගේ ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සිතාර් වාදක ශිල්පියෙක්. ඒ වගේම මගේ සමීප මිතුරෙක්. "මචං මම චන්ද්‍රලේඛාගේ කැසට් එකක් කරන්නයි යන්නේ. උඹ සිංදු දෙක තුනක් ලියල දීපං." සමන් මට ආරාධනාවක් කළා.


චන්ද්‍රලේඛා පෙරේරා මේ කාලයේ ජාතික තරුණ සේවා සභාවේ ගායන ශිල්පිණියක්. අළුත් හඬක් ඇසී රසිකයන් සෙමෙන් සෙමෙන් ඇයට සමීපවූ කාලයක්. මම මේ කැසට් පටියට ගීත 04ක් රචනා කළා. මේ පාළු සීත රාත්‍රියේ..., මේ උයන් කොනේ..., පුංචි නදීෂා... සහ තවත් යුග ගීතයක්.


මේ වන විට මම චන්ද්‍රලේඛා හමුවෙලා තිබුණේ නෑ. ඒත් සමන් ඉල්ලීමක් කළා ඇයගේ දියණිය ගැනත් ගීතයක් ගැයීමට ආශාවක් ඇයට ඇති බව. "පුංචි නදීෂා" ලීව්වේ ඒ ඉල්ලීමට. මේ පාළු සීත රාත්‍රියේ... ගීතය ලිව්වේ ඇත්තටම රාත්‍රියක. එදා මහා වැසි දවසක්.


ගීතය ලියාගෙන මම සමන්ගේ නිවසට ගියා. ගීතයේ තනුව පිළිබඳව සියුම් ආකෘතියක් මගේ සිතේ තිබුණා. මට කිසිම වාදන භාණ්ඩයක් එදත් අදත් වාදනය කරන්නට බැහැ. මම මගේ ආකෘතිය සමන්ට ගයා පෙන්නුවා. සමන් ඔහුගේ නිර්මාණ ශක්තිය මේකට එකතු කරලා ගීතයට සංගීතය නිර්මාණය කළා.


ගීතය පටිගත කරන දවසේ මට ශබ්දාගාරයට යන්නට නොහැකි වුනා. කැසට් පටිය එලිදැක්වීමෙන් පසුව මේ ගීත ඉතා ජනප්‍රිය වුනා. වසරක් පමණ ගතවීත් මට තවම චන්ද්‍රලේඛා මුණ ගැසී නෑ. එක්‌ සංගීත ප්‍රසංගයක් නිවේදනය කලේ මම. එදා තමයි මම චන්ද්‍රලේඛා මුලින්ම දුටුවේ. ඇය මල්කාන්ති අක්කා (මල්කාන්ති නන්දසිරි) සමඟ කථා කරමින් උන්නා. මම ඔවුන් ලඟට ගියා.


"මම ඔයාට සිංදු ලියලා තියනවා"

මම චන්ද්‍රලේඛාට එහෙම කිව්වා.

"ඔයා මට සිංදු ලියලා තියනවා.? අනේ අක්කේ කවුද මෙයා."

චන්ද්‍රලේඛා මල් කාන්ති අක්කාගෙන් ඇහුවා.

"අනේ නංගි ඔයාගේ ජනප්‍රියම ගීත ටික ලියලා තියන ප්‍රියානන්ද විජේසුන්දර මල්ලී තමයි මේ."

මල් කාන්ති අක්කා මාව හඳුන්වා දුන්නා.

චන්ද්‍රලේඛා මගෙන් කී වාරයක් සමාව ගත්තද කියලා මට මතක නෑ."

Featured Posts
Recent Posts
Archive
Search By Tags
bottom of page