සසර ගෙවා යන දිවි ගමනේ - නිදිකුම්බා මල් ටෙලිනාට්‍යය
- මාධව විජේසේකර
- Mar 10, 2018
- 1 min read


සසර ගෙවා යන දිවි ගමනේ
යොවුන් වියේ විසිතුරු අරණේ
නොසිතු විරු ලෙස සිත කැලඹී
මතකය අමතක වෙන මොහොතේ...
තුරුණු වියේ සිත නැත නිදියන්නේ
සුරඟන ගී අතරේ තනිවන්නේ
රිද්මය කඩතොළු වූ විට ගීයේ
තනුව රුදුරු වී සිත පෑරූයේ
නිබඳ ගලායන දොළ පාරක් වුව
අතර ගමන්මග ගල්පර මතුවෙයි
සෙනෙහස දෙහදක යාවී මහිමෙන්
අතිනත බැඳුනා පෑහීමෙන්
ක්ලැරන්ස් විජේවර්ධනයන් ඉතාමත් ආසාවෙන් හිටියා අමරදේවයන්ට ගීතයක් නිර්මාණය කරන්න. අමරදේවයන්ටත් වුවමනාවක් තිබුණා ක්ලැරන්ස් විජේවර්ධනයන් ලවා ගීතයක් නිර්මාණය කරවාගන්න. විවිධ හේතු නිසා එය සිදුවන්නේ නැහැ.
එහෙත් අවසානයේ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිසා ඒ ඓතිහාසික සිද්ධීය සිදුවනවා. ඒ නිදිකුම්බා මල් ටෙලිනාට්‍යය වෙනුවෙන්. ඒ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කලේ ක්ලැරන්ස් විජේවර්ධනයන්. මේ කතාව සිඩ්නි චන්ද්‍රසේකරයන් ක්ලැරන්ස්ට කිව්වාම "මම කැමති අමරදේවයන් ගිහින් මුණගැහෙන්න." කියලා ඔහු කියනවා. සිඩ්නි මහත්මයා අමරදේවයන්ට මේ පණිවිඩය ගිහින් කිව්වාම, අමරදේවයන් කියනවා "නැහැ. මම යනවා ක්ලැරන්ස් ව මුණගැහෙන්න" කියලා ඉතාම නිහතමානීව අමරදේවයන් යනවා ක්ලැරන්ස් විජේවර්ධනයන් ව මුණගැහෙන්න.
ඇත්තටම ඒ වෙනකොටත් ක්ලැරන්ස් විජේවර්ධනයන් දියවැඩියා තත්ත්වයෙන් හිටියේ. ඔහු ගමන්කලේ කිහිලිකරු ආධාරයෙන්. අමරදේවයන් ඔහුගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුළුවනවා දකිනකොටම කිහිලිකරු ආධාරයෙන් ඉදිරියට ගොස් එතුමාව පිළිගන්නේ පාද නමස්කාර කරමින් මෙසේ කියමින්. "ඔබවැනි දැවැන්තයෙක් මෙතනට වඩින එකත් මට සතුටක්".
යුග දෙකක්, සංගීත සංස්කෘති දෙකක් එකට යා වුණු මේ ගීතය සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ අතිශයින්ම ජනප්‍රිය වූ "නිදිකුම්බා මල්" ටෙලිනාට්‍යයේ තේමා ගීතය බවට පත්වුණා.
නිදිකුම්බා මල් ටෙලිනාට්‍යයේ තවත් ජනප්‍රිය ගීත දෙකක් ඇතුළත් වූවා. පහළින් තියෙන්නේ එම ගීත දෙක.
Comentarios