top of page

ගාන තෙල් සදුන් වරලස


හඬ : සමන් ජයනාත් ජිනදාස

පද : වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර

තනුව : නවරත්න ගමගේ

ගාන තෙල් සඳුන් වරලස

පීරමින් බලන හැඩ රුව

නුඹම නොවෙද මට හිනැහුණු

අහිංසකාවී ///

කෝල මුතු සිනා දෙතොළග

ඉසුනු රන් ළමැද ගෝමර

නුඹම නොවෙද සිත රජවුණු

මහේසිකාවී ///

සඳ හිනැහී එන යාමෙට

සුදු සඳ රැස් විලට බහින

සුනිල පියුම් පෙති නෙලමින

මාල ගොතා ගෙලේ බඳින

නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී

නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින

දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන

නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී

නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

සමන් ජයනාත් ජිනදාසයන් ගැයු "ගාන තෙල් සදුන් වරලස" ගීතය ගැන ගේය පද රචක යසනාත් ධම්මික බණ්ඩාරයන් කරන හෙලිදරව්ව මෙසේයි.


"1998 වසරේදී මගේම ගීත රචනාවන් 16 කින් නිමැවුණු ගීත එකතුවක් කිඳුරු ගිතය නමින් නිකුත් වුණා. මේ ගීත කිහිපයට අයිතිවුණු ගීත දෙකක් ලියුවේ මා මිතුරු සංගීතඥ නවරත්න ගමගේ විසින් කළින් නිම කළ සෑදූ තනුවලට. එයින් එකක් ශාස්ත්‍රීය ඌරුවේ. අනෙක යම් ගැමි සංගීත නාද රටාවන් සහිත එහෙත් ජනප්‍රිය තලයේ ගීත වල ලකුණු පෙන්වන ප්‍රේම ගිතයක්. අපි දැන් කතා කරන්න යන්නේ ඒ කියූ දෙවෙනි ගීතය ගැනයි.


මෙහි ඇති විශේෂත්වය තමයි මේ තනුව නවා නිර්මාණය කළේ මවිසින් නවාට මුණගැස්වූ විශ්ව විද්‍යාල ගායිකාවක් වෙනුවෙන්. ඒ ජ'පුරේ 'නලමුදු සුවඳ' ප්‍රසංගය සඳහා. අද ඇය විශේෂඥ වෛද්‍යවරියක්. එහෙත් එම තනුව ඇය විසින් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමනු ලැබුවා. ඇය විසින් අතහැර දමනු ලැබුවේ වුවත් එය ඉතා මධුරතර තනුවක්. ඇය එම තනුව ප්‍රතික්ෂේප කළේ ඇයිද යන්නත් මට අපැහැදිලියි.


එම ප්‍රතික්ෂේප කිරීම ගැන නවා ගේ හිතේ එම කිසියම් සිත් තැවුළක් තිබුණා. එය පිලිගන්නට වෙනවා. මොකද මේ තනුවේ ඇති ශක්තිය සහ රසය එය ඇසූ බොහෝ දෙනෙක් පිලිගත් දෙයක් වුණා. එවැනි තනුවක් ප්‍රතික්ෂේප වුණාම එහි නිර්මාණකරුවාට ඇති වන සිත් තැවුල ස්වභාවිකයි. සමහරවිට එහෙම වුණේ එකල නවාලට අපිට නමක් නොතිබුණු නිසාද කියාත් නොහිතුනා නොවේ.


දැන් මෙම තැවුළ නිවා අවුළ ලිහිය යුත්තේත් මමමනේ. එනිසා මම නිතර මෙම තනුව අසමින් මුමුණමින් ඊට වචන අමුණන්න වෙහෙසුනා. කොපමණ වෙහෙසුනත් බැරිවුණා. එහෙත් එක් සැඳෑවක නිරායාසයෙන්ම මේ ගීතයට වචන පෙළ ගැහෙන්න පටන් ගත්තා.


ගාන තෙල් සඳුන් වරලස - පීරමින් බලන හැඩ රුව

නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී

කෝල මුතු සිනා දෙතොළග - ඉසුනු රන් ළමැද ගෝමර

නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......


මේ ගිතයේ වචනයෙන් වචනය ගෙන පැහැදිලි කිරීම අවශ්‍යයැයි මම හිතන්නේ නෑ. තුරුණු වියේ ප්‍රේමය පිළිබඳ මට ඇති සමහර අත්දැකීම් කටුක වුවත් තුරුණු වියේ ප්‍රේමයෙහි ඇති සුන්දරත්වය පිළිබඳව මට ඉවක් නැතිවා නොවෙයි. ඒ නිසා ඒ තනුව ටිකෙන් ටික මගේ හිතේ ඇන්දේ යෞවන ප්‍රේමයේ සුන්දරත්වය පිළිබඳ චිත්‍රයක්. එම තනුව ඉල්ලා සිටියේ එවැන්නක්.

මෙම ගීතයට මවිසින් යෙදූ වචන පිළිබඳව නවා මහත් සේ සතුටු වුණා. අපි ගීත නිර්මාණය කරන්න අතගැහැවුවා පමණයි. අපට විශාල විශ්වාසයක් ගොඩ නැගුණා මේ ගීතය අපේ ගමන් මගේ පළමු අඩිය වනවා සේ ම එය බර අඩියක් වන බවට. ඒ නිසා නවායි මමයි මේ ගිතයට සුදුසු ම හඬ කුමක්ද කියා කල්පනා කළා. ඒත් ඊට පෙර ගිතයේ ඉතිරි ටික ලිවිය යුතුයි. මම නැවත නැවතත් තනුව අසමින් වචන ගැලපුවා.


සඳ හිනැහී එන යාමෙට - සුදු සඳ රැස් විලට බසින

සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින

නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී

නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......


වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින

දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන

නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී

නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......


මේ ගීයට සුදුසුම හඬ හොයමින් යන අපට ඊට මද කාලයකට පෙරාතුව මහත් ජනප්‍රියවූ "තුමුළ නමුණුකුළ ගිරි හිස" ගීතය ගැයුන හඬ මතක් වුණා. එය ගායනා කළ ගායකයා වූ සමන් ජයනාත් ජිනදාසයන් මගේ ගීය ගැයුමට සුදුස්සා යැයි අපි සැණින් ඒකමතික ව තීරණය කළා.


ඔහු එකල සේවය කළේ පැල්වත්ත සීනි සමාගමේ ඉංජිනේරුවකු ලෙසය.ඔහු බොහෝ දුර බැහැර සිටි නිසා ගීතය ගැන කතා කිරීමට ඔහුව මුණ ගැසීමේ හැකියාවක් අපට තිබුණේ නෑ.

දුන් දුරකථන ඇමතුමෙන් ඔහු දැක්කේ වචනවල වර්ණය පමණයි. තනුවේ රහ ගැන අවබෝධයක් ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත්තේ තාක්ෂණය අද මෙන් දියුණු අඩියක නොතිබුණ නිසා. එය ඔහුට අසන්න දෙන්නට හැකියාවක් අපට තිබුණේ නෑ.


ඔහු කෙළින්ම පැමිණියේ පටිගත කිරීම සඳහා සූදානම්ව. පටි ගතකිරීම සඳහා සූදානම්ව කියා කියුවේ ඒ සඳහා කැමැති වීම ගැනයි. පෙර කිසිදු සූදාමකට ඔහුට අවස්ථාවක් ලැබුණේ නෑ.


නුගේගොඩ, දෙල්කඳ, නෙකෝ ශබ්දාගාරය තුළයි එම පටිගත කිරීම සිදුවුනේ. ඔහු එම තනුව ඇසුවේ එදාම වුවත් ඉතා කෙටි පුහුණු වීමකින් අනතුරුව ඔහු විසින් ගයන ලද ගීතය මනරම් යැයි අපට හැඟුනා. ඒ සමගම අපට හැඟුනු දෙයක් වූයේ මේ ගීතය රසික සමාජය තුළ යම් පෙරලියක් කරණු ඇති බවය. එහි පළමු ගුවන් විදුලි වාදනය සිදුවුණේ සිරස එෆ්. එම්. සේවවේ අළුත් සිංදු වැඩසටහනින්. ඒ අවස්ථාව ලබා දුන් නිහාල් වික්‍රම එදිරිසූරිය මහතාට මම ස්තුතිවන්ත විය යුතුයි. අනතුරුව පසු දිනයේ එය සිරස ගුවන් විදුලියෙන් කිහිප වරක් ම ප්‍රචාරය වුණා. අනතුරුම අනෙකුත් සේවාවන්ටත් එය ලබා දුන්නා. විශේෂයෙන් වෙළඳ සේවයත්, ලක්හඬ ගුවන් විදුලියත් මතක් කළ යුතුයි. සිතුවා සේම එම ගීතය ඊට සම්මාදම් වූ අපි තිදෙනාටම මේ සංගීත මාවත තුළ දිගු දුරක් ගෙන ගිය වාහනයක් වුණා."

Featured Posts
Recent Posts
Archive
Search By Tags
bottom of page