top of page

මා තොටින් එන


හඬ : විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

පද : මහින්ද චන්ද්‍රසේකර

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

මා තොටින් එන උතුරු සුළගේ ගිනි සිබින මඩු පල්ලියේ දෑස් අග මුතු කදුලු හංගන සරෝජා මගේ දෝනියේ වෙඩිහඩට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුබ ඒත් අපි එක පංතියේ

කරවටා අත දමා හිනැහුනු කෝ නුබේ පොඩි යාලුවන් දයාවක් නැති ලෝකයක් දැක උන්ගිහින් පැන මායිමෙන් තත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරින් කාටවත් නැති දුවේ කවුරුත් නුබ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුබව කැදවයි බේබිලා හඩනා හඩින් මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙසේ යන්නද ඒත් යන්නට වෙයි ඉතින් වරක් දැක හිත නිවාගන්නට

දුවේ ඩිංගක් හිනැහෙයන්


පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමිනි. එහෙත් 1983දී ගුරු පත්වීමක් ලබා පානමට යන මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය. එහි උන් සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවා.


මේ ත්‍රස්තවාදීන් විසින් දෙමළ ළමයින් පැහැරගෙනගොස් ඔවුන්ගේ මීනීමරු ත්‍රස්තවාදයට යොමුකර සිංහල දරුවන් මරා දැමූ යුගයක් වුණා. මේ නිසා ඇතැම් දරුවන් පාසල් ගමන් නතර කර ගමෙන් බාහිර මහා මන්දිරවල බැල මෙහෙවරකම් වලට ගියේ තම පණ බේරා ගැනීමටයි. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින් අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඩව කම්පා වීමටයි.


තවදුරටත් පානම මහා විදුහලේ ගුරුවරයෙකුලෙස සේවය කරන්නට බැරි නිසා මහින්ද චන්ද්‍රසේකරයන් අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියා. තවත් කලකට පසුව ගල්නෑව මැදිවිදුහලට ගියත් පානම්දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ සිත නිරන්තරයෙන් කම්පාවට පත්කලා.

මෙතෙක් කලක් සිතට වදදුන් මේ සිද්ධි සමූහය මහින්ද චන්ද්‍රසේකරයන්ගේ සිතෙන් එලියට පැන්නේ වචන ගොඩාක් ලෙසටයි. ඒ 1992දී පමණ. අත්දැකීම පානමට අයත් වූවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය, මඩුපල්ලිය, මන්නරම වැනි ප්‍රදේශ වලට බද්ධ වෙමින් ලියවුණා.

මෙය ලියාගෙන ගිය මහින්ද චන්ද්‍රසේකරයන්ගේ මතකය 1989 කලබල සිද්ධිවලින්ද සසල වුණා. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කල සමයේ විදුහල අසල බෝම්බයක් පුපුරා ගියා. ඒ හඬට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන බිමට වැටුනේ ලියමින් සිටි අකුරක්ද ඇදකරමින්. වචන පොලිමේ ආවේ මහින්දයන්ටත් හොරාය.


මහින්ද චන්ද්‍රසේකර කවියෙක් බැවින් එතුමා කවියැකැයි සිතූ මේ පද මාලාව ඔහුගේ මිතුරු කරුණාරත්න දිවුල්ගනේ මහතගේ මැදිහත්වීමෙන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායිකාවට ලැබුනි. රෝහණ වීරසිංහයන් වෙතට ගීතය රැගෙන ගියේත් කරුණාරත්න දිවුල්ගනේ මහතාමයි. මේ ගීතය නිර්මාණයේදී වචන අඩුකර දෙන ලෙස රෝහණයන් දීපිකාගෙන් මෙන්ම මහින්දගෙ න්ද ඉල්ලා තිබෙනවා. එහිදී කලින් තිබූ අපූර්වත්වය මහින්දගේ නව පද මාලාවෙන් ගිලිහී ගොස් තිබෙනවා. එබැවින් රෝහණ වීරසිංහයන් පරණ පද වලටම අපූර්ව තනුවක් නිර්මාණය කර තිබෙනවා.


එදා මෙදා තුර හැමදාමත් රසික සිත් සතන් කම්පාවට පත්කල මේ ගීතය, ජ්‍යත්‍යන්තර සාම ත්‍යාගය සදහා නිර්දේශ වුණා. ගුශි ජ්‍යත්‍යන්තර සාම සම්මන උලෙල 2012 නොවැ 28 පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණා. එහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනෙවිය මේ ගීතය ගයා සම්මානය ලබා ගත්තා.

Featured Posts
Recent Posts
Archive
Search By Tags
bottom of page