සරා සොඳුරු මල් පැටලී - හන්තානේ කතාව (1969)
- මාධව විජේසේකර
- May 28, 2017
- 2 min read





සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි....
කැකුළු හිනා මුතු එළියේ අඳුරු ලෙනේ දොර මතුවේ... සැලේ ම හද සැලේ...සැලේ...
වනේ මලක හද විමනේ බඹරු වඩින ජීවිතයයි පිපාසිතවු මරු කතරේ පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ අමා හඳක සුව ගෙන ඒ.. නිවේ ම හද නිවේ...නිවේ...
කුණාටු මැද බොල් අහසේ එබී බලන හඳ පලුවයි පුරා හඳට ඉඩ සලසන අනාගතය ඔබ පමණයි සැලේ ම හද සැලේ...සැලේ...
අනාගතය ඔබ පමණයි සැලේ ම හද සැලේ...සැලේ...
ආචාර්ය වික්ටර් රත්නායකයන් පළමුවරට චිත්‍රපටියක පසුබිම් ගායනයට එක් වූයේ හන්තානේ කතාවේ මේ ගීතයෙනුයි. මේ ගීතය සඳහා මුලදී වෙනත් ගායකයෙක් යොදාගෙන තිබුණත් ගනුදෙනු සම්බන්ධ ගැටළුවක් පැන නැගුණ නිසා වික්ටර් රත්නායකයන් යොදා ගත් බව තමා දැනගන්න ලැබුණේ. මේ ගීතයත් තව පැත්තකින් විශේෂත්වයක් තිබෙනවා. ඒ පද රචනය සඳහා දෙදෙනෙක් දායක වීම. අපේ ගීත ඉතිහාසයේ ගී පද රචනාවට දෙදෙනෙක් සහභාගී වූ අවස්ථා බොහෝම විරලයි. මහගමසේකරයන් සහ චිත්‍රපටියේ අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා එක්ව මේ ගීතය රචනා කර තිබෙනවා. යුග ගායනයට එක් වූයේ විශාරද නන්දා මාලනී මහතමියයි. තනුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ.
ඉතින් මේ චිත්‍රපටියත් හරි වැදගත් සංධිස්ථානයක්. සුගතපාල සෙනරත් යාපා මහතා අධ්‍යක්ෂණය කල පලමු චිත්‍රපටිය මෙයයි. එසේම පසුකාලීනව සිනමාව දිග්විජය කල බොහෝ රංගන ශිල්පීන්ගේ ආරම්භය මෙයයි. උත්තරීතර මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් ජනහද දිනූ විජය කුමාරතුංගයන්ගේ සිනමා ප්‍රවිශ්ඨය ද මෙයයි. එසේම අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, ධර්මසේන පතිරාජ ආදීන්ගේ ද පළමු චිත්‍රපටිය ද මෙයයි.
මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ ටෝනි රණසිංහයන් සහ ස්වර්ණා මල්ලවආරච්චි මියයි. ඉතින් මේ කතාව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ රූගත කරලා තියෙන්නේ. මොකද මේ කතාව සරසවි තරුණ පිරිසක් වටා ගෙතුණ එකක්. ඉතින් මේ ගීතය රූගත කරන වෙලාවේ දී ඈත ඉඳන් ටෝනි රණසිංහයන් දිහා බලාගෙන හිටපු සරසවි සිසුන් පිරිසක්, "ඒයි ටෝනි, උඹ දරු පවුල්කාරයෙක් නේද?" යනුවෙන් කෑගැසූ බව ටෝනි රණසිංහයන් ම වරෙක සිනාසෙමින් රූපවාහිනී වැඩසටහනකට තම මතකය ආවර්ජනය කලා.
හන්තානේ කතාව චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1969. 12. 30 (මෙම දිනයේ ප්‍රදර්ශනය කළේ එක් දර්ශනයක් පමණි. මහජන ප්‍රදර්ශනය ඇරැඹියේ 1970 මාර්තු 05 වන දිනයි)
නිෂ්පානය - සීමාසහිත සමකාලීන චිත්‍රපට
කතාව සහ අධ්‍යක්ෂණය - සුගතපාල සෙනරත් යාපා
තිර නාටකය – ධර්මසේන පතිරාජ / බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර
දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සංස්කරණය - ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – පුෂ්පානන්ද වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, සුගතපාල සෙනරත් යාපා, මහගමසේකර
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
ගීත ගායනය – නන්දා මාලිනි, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත -
දිගන්තයේ ඝණ අවිඳු අඳුර – ඩබ්. බී. අමරදේව
සරා සොඳුරු මල් පැටලී – නන්දා මාලිනී, වික්ටර් රත්නායක
මහගිරි අරණේ දිවි උයනේ – නන්දා මාලිනී
අනන්ත වූ දෙරණ සලා - සනත් නන්දසිරි
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
නළු නිළියන් -
ටෝනි රණසිංහ
ස්වර්ණා මල්ලවආරච්චි
විජය කුමාරණතුංග
සෝබනී අමරසිංහ
සුනිලා ජයන්ති
දෙනවක හාමිනේ
තිලක් ධර්මසිරි
අමරසිරි කලංසූරිය
දයා තෙන්නතෝන්
සමන්ති ලැනරෝල්
එඩ්මන්ඩ් ජයසිංහ
ෆ්‍රෑන්ක් ගුණසේකර
බර්ටි ජයසේකර
මාලා වජිරා පෙරේරා
හේමා ගුණවර්ධන
සෝමපාල ලැනරෝල්
ජයා ටී. හේරත්
ජේ. ඩී. එල්. ගුණසේකර
පුෂ්පානන්ද විරසිංහ
ධර්මදාස කුරුප්පු
ප්‍රදර්ශනය – සිලොන් තියටර්ස්
විශේෂතා - මේ සමඟින් ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල රඟපෑ විනාඩි 17 කින් යුත් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයද සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. මෙය ඉන්දියානු ජාත්‍යන්තර ට්ත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානය දිනා ගත්තේය.
Comentarios