බෝ මළුවේ මල්
- මාධව විජේසේකර
- May 20, 2017
- 2 min read


බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ... එහෙම ගියත් ඒ අය පොඩි සාධු කියා කියන විට වැද වැටිලා.. කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා... බෝ මළුවේ මල්.... භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ.. දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ... ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා... කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත්... සසරින්... එතෙර වෙලා....
දවසක් සනත් නන්දසිරි මහතාත් මල්කාන්ති නන්දසිරි මහත්මියත් තමන්ගේ වාහනයේ නැගී කුලියාපිටිය පැත්තේ සංගීත සංදර්ශනයකට සහභාගී වෙන්නට රාත්‍රී කාලයේ යනවා. වාහනය පදවන්නේ සනත් නන්දසිරි මහතා. රාත්‍රී 7ට විතර ඇති වෙලාව. නන්දසිරි මහතා දකිනවා අවුරුදු 7ක 8ක පුංචි සාමණේර නමක් හුළු අත්තක් පත්තුකරගෙන වඩිනවා. ඒ දුටු නන්දසිරි මහතා වාහනය නවතා "අපේ හාමුදුරුවනේ කොහෙද මේ රාත්‍රියේ වඩින්නේ?" යනුවෙන් අසනවා. "මම මේ පන්සලට යන ගමන්" යනුවෙන් උන්වහන්සේගෙන් පිළිතුර ලැබෙනවා. "මේ රාත්‍රියේ කොහෙද ඔබවහන්සේ වැඩියේ?". "මම මේ අම්මා බලන්න ගියා."
"වඩින්න හාමුදුරුවනේ මගේ වාහනයට. මම සනත් නන්දසිරි. මම ඔබවහන්සේව ඇරලවන්නම්" යනුවෙන් නන්දසිරි මහතා ආරාධනා කලත්, පුංචි සාමණේරනමට නම් එතුමාව රාත්‍රී අන්ධකාරයේ හඳුනාගන්නට හැකිවුණේ නෑ. "අනේ කමක් නැහැ පන්සලට තව ටික දුරයි." යනුවෙන් කියා උන්වහන්සේ වඩිනවා.
මේ සිද්ධිය සනත් නන්දසිරි මහාචාර්යතුමාගේ සිතට අපූරු ප්‍රස්තුථයක් වෙනවා. අම්මලා දරුවන් මහණකරන්නේ හතරවරිගයම නිවන් දක්වන්නටයි. අද කාලේ නම් ඒක එහෙමද කියන්න මම දන්නේ නැහැ. ඉතින් එතුමා ප්‍රසංගය අවසන් කරලා ගෙදර ආවාට පසු තමන්ගේ මිතුරු ප්‍රියානන්ද විජේසුන්දර මහතාට මේ සිද්ධිය විස්තර කර ඒ ඇසුරෙන් ගීතයක් ලියන්න කියා ඉල්ලීමක් කරනවා. පුංචි සාමණේර නමක් වුණත් ළමා සිතිවිලි ඇති. සෙල්ලම කරන්න ආසාව ඇති. අවසානයේ යොදන්න අම්මේ අම්මා නිවන් දැක්කාම මම කිරි සුවඳේ එතිලා එන්නම් කියලා. එතකොට එයාට මතක් වෙන්න ඕන අම්මා නිවන් දැකලා නේද? කියන අදහස කියලත් ඉල්ලීමක් කරනවා. ඒ සියළු අදහස් එකතු කරලා විජේසුන්දරයන් අතින් මේ ගීතය ලියවෙනවා.
Comments