top of page
Search

පාරමිතා බල - රන්මුතු දූව (1962)

  • මාධව විජේසේකර
  • May 2, 2017
  • 4 min read

තනුව හා හඬ : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් ඇතුළු පිරිස

සහාය ගායනය : නන්දා මාලනී

පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝ දින – දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ

සනසා මුළු ලොව නිවන් ලබා දී පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි සණරාමර ගුරු ලෝක තිවංකර බුද්ධ දිවාකරයාණෝ

මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා සීතල මෙත් ධාරා ගලා බසියි තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදුරැස් කැටි වී නැගි ආලෝකේ පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ


මේ ගීතයේ රසවත් කතාවල් ගොඩක් තියෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරපු පළමු වර්ණ චිත්‍රපටිය තමා රන්මුතු දූව. චිත්‍රපටියේ ආරම්භයේ ම තමා මේ ගීතය එන්නේ. ඉතින් පද රචනය කරලා තියෙන්නේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින්. එතුමා කලක් පැවිදිව හිටපු කෙනෙක්. ඇත්තටම විශිෂ්ට ගී පද රචනාවක්. ඒ වගේම විශේෂ ගණ පිහිටුවීමක් කරලා තමයි මේ ගීතය මානවසිංහයන් අතින් රචනා කෙරෙන්නේ. මේ ගීතය රචනා කෙරෙන කොට අමරදේවයන්ගේ මව දියවැඩියා රෝගය නිසා රෝහල්ගත කරලා හිටියේ. ඉතින් මැන්ඩලීනයත් අරගෙන රෝහලට ගිහිල්ලා අම්මාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා එන ගමනේ දී තමයි ගීතය නිමවුණේ.


ඒ වගේම වචනවල විශේෂ යොදාගැනීමත් බලන්න. "බුද්ධ දිවාකරයාණෝ", දිවාකර කියන්නේ හිරුට කියන තවත් නමක්. එතකොට වෙසක් පොහෝ දින ලෝකය දිනපු බුදුරජාණන්වහන්සේට හිරු ආදේශ කරලා විශේෂ ගාම්භීරත්වයක් එකතු කරලා තියෙනවා. “පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි”, මහෝදධි කියන්නේ මහා සාගරය කියන එකටයි. පුණ්‍ය මහෝදධි කිව්වාම ඒක පින් සාගරයක් වෙනවා. මහා සංඝරත්නයේ එක ගුණ සමුදායක් තමා පුඤ්ඤඛෙත්තං - පින් කෙතක් කියන එක. එතකොට මහා සංඝයා පින් කෙතක් නම්, බුදුපියාණන් වහන්සේ පින් සාගරයකට උපමා කරලා තියෙනවා.


ගීතය පටිගත කෙළේ, හැඳල ගුණරත්නම්ගේ චිත්‍රාගාරයේ. එහිදී ලංකාවේ අතිශූර වාදන ශිල්පියකු වූ ඇම්.කේ. රොක්සාමි, තබ්ලා වාදනය කෙළේ ඩී.ආර්. පීරිස්. ගීතය පටිගත කෙළේ මිශ්‍රා නමැති ඉන්දියානු ජාතිකයෙක්.‍ අමරදේවයන් ගීතය ගායනා කරනවා. නමුත් මිශ්‍රා එය පටිගත කරන්නෙ නැහැ. ඔහු ගීතයට සවන් දීගෙන ඉන්නවා. එතුමා ඇහුවා ඇයි කියලා. ඔහු අමරදේවයන්ට මෙහෙම කියනවා. “I am enthralled by your melody. I forget to record.” මම ඔබේ තනුවෙන් වශීවෙලා ඉන්නේ. ඒ නිසාම ගීතය පටිගත කරන්න මට අමතක වුණා. ගීතය පටිගත කෙරුණේ, මිශ්‍රා ඒ මෝහනයෙන් මිදුණාට පසුවයි.


ඊළඟ කතාව සිද්ධවෙන්නේ, චිත්‍රපටිය 1964 පැවති ප්‍රථම සරසවි සම්මාන උළෙලේ දී හොඳම පසුබිම් ගායකයා/ගායිකාව සහ පදරචනය වෙනුවෙන් සම්මාන ලබා ඒ වෙනුවෙන් පැවති සාදයකදී. අපේ රටේ ගොඩක් කලාකරුවෝ ඉතින් මධුවිතට ඇබ්බැහි වූ අයනේ. අපේ අවාසනාවට දිගු කල් ජීවත් වෙන්න ඕන බොහෝ දෙනා අපිට අහිමි වුණෙත් ඒ නිසාමයි. ඉතින් මානවසිංහයන් පවා අකමැත්තෙන් වුවත් මේ කුලකයට දාන්න අපිට සිද්ධවෙනවා. මත්පැන් පානය නිසාම රෝගාතුරව සිටි එතුමන්ට වෛද්‍ය උපදෙස් දීලා තියෙනවා මත්පැන් පානය නවත්වන්න. අවශ්‍ය නම් බීර පයින්ට් එකක් විතරක් පානය කලාට කමක් නෑ ඊට වඩා ගන්න එපා කියලා. ඒ වෙනකොට එතන බීර තිබිලා නෑ. අන්තිමේ දී ජෝ අබේවික්‍රමයන්ට මානවසිංහයන් කියනවා මට බීර පයින්ට් එකක් ගෙනත් දෙන්න කියලා. ඉතින් ජෝ අබේවික්‍රමයන් පිටත් වූවත් සෑහෙන වෙලාවක් ගියාලු බීර පයින්ට් එක අරන් එන්න. අවසානයේ දී සීමාව ඉක්මවා මධුවිත තොලගෑ එතුමා තමාගේම පද රචනය කල මේ ගීතයේ පොඩි වෙනසක් කරලා මෙහෙම කිව්වාලු.


"පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ අප්‍රමාණ ලෙස ගැසූ සේක අද මානවසිංහවයාණෝ"


මේ ගීතයේ අත්වැල් ගායනයට මුල්ම පටිගත කිරීමේ දී සම්බන්ධවෙලා තියෙන්නේ. නන්දා මාලනී, නාරද දිසාසේකර, අතුල සෝමසිරි, රෝහිත විජේසූරිය යන ගායක ගායිකාවන් බවත් මතක් කල යුතුයි.


රන්මුතු දූව චිත්‍රපටිය ගැන තොරතුරු සැකෙවින්.

  • නිෂ්පාදනය – සෙරන්ඩිබ් සමාගම වෙනුවෙන් ශේෂා පලිහක්කාර

  • අධ්‍යක්ෂණය – මයික් ජේ. විල්සන්

  • සහාය අධ්‍යක්ෂණය – තිස්ස ලියනසූරිය

  • කැමරාකරණය – මයික් ජේ. විල්සන්

  • සංස්කරණය – ටයිටස් ද සිල්වා (තොටවත්ත)

  • තිර රචනය – මයික් ජේ. විල්සන් (මෙය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ තිස්ස ලියනසුරිය විසිනි)

  • දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

  • ගී පද මාලා - චන්ද්‍රරත්න මානවසිංහ (බුද්ධ දිවාකරයාණෝ, ගලන ගඟකි ජීවිතේ, පිපී පිපී රේණු නටන යනාදී ගීත)

  • සංගීතය – පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව

  • පසුබිම් ගායනා - පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව, නාරද දිසාසේකර, නන්දා මාලිනී

  • රංගන දායකත්වය – ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජීවරාණි කුරුකුලසූරිය, ෂේන් ගුණරත්න, රොඩ්නි ජොන්ක්ලාස්, ඇන්තනි සී. පෙරේරා, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප්‍රනාන්දු, වින්සන් වාස්, ශේෂා පලිහක්කාර,

  • ධාවන කාලය – විනාඩි 137 යි

  • වර්ණය - ටෙක්නික් කලර්

  • චිත්‍රපටයේ ප්‍රමාණය – 35 mm

  • බෙදා හැරීම - සෙරන්ඩිබ් සමාගම

  • තිරගත වීම – වර්ෂ 1962 අගෝස්තු 10 වැනි දින

රන්මුතු දූව චිත්‍රපටියේ විශේෂතා

  • ශ්‍රී ලාංකික සිනමාවේ පළමු අංග සම්පූර්ණ වර්ණ චිත්‍රපටය වීම.

  • ශ්‍රී ලාංකික සිනමාවේ මුහුද යට දර්ශන රැගත් පළමු චිත්‍රපටය වීම.

  • යුරෝපීය ජාතිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • යුරෝපීය ජාතිකයෙකු විසින් කැමරා අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • යුරෝපීය ජාතිකයකු විසින් තිර රචනය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ ආචාර්ය ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය වීම.

  • නිධන් වස්තුවක් සොයා යන කථා පුවතක් ප්‍රධාන තේමාව කර ගත් පළමු සිංහල චිත්‍රපටය වීම.

  • යොවුන් ප්‍රේමය යන කාරණාව ප්‍රධාන මාතෘකාවට අමතරව යොදන ලද බාහිර සැරසිල්ලක් වූ පළමු සිංහල චිත්‍රපටය වීම.

  • ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ (යථාර්තවාදී) තාරුණ්‍යය නිරූපණය කළ පළමු සිංහල චිත්‍රපටය වීම.

  • මෙරට මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය වීම.

  • නාරද දිසාසේකරයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.

  • නන්දා මාලිනියන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.

  • හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක ආකෘතියට අනුව නිර්මාණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • ඒ වන විට ලෝකයේ භාවිත කරන ලද ඉහළම සිනමා තාක්ෂණය (එනම් හොලිවුඩ් සිනමාවේ පවා) යොදා ගනිමින් නිර්මාණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • රසායනාගාර කටයුතු එංගලන්තයේ සිදු කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

  • වර්ෂ 1964 දී ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් පවත්වන ලද පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචකයා ලෙස චන්ද්‍රරත්න මානවසිංහයන් (එනම් බුද්ධ දිවාකරයාණෝ නම් වූ ගීතය වෙනුවෙන්) සම්මානයට පාත්‍ර වීම.

  • එම වසරේදීිම හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස නාරද දිසාසේකරයාණන් සම්මානයට පාත්‍ර වීම.

  • එම වසරේදීම හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස නන්දා මාලිනියන් සම්මානයට පාත්‍ර වීම.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page