ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව (1962)
- මාධව විජේසේකර
- May 2, 2017
- 3 min read




ගලන ගඟකි ජීවිතේ
දයා ළූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපළු නටයි ගං තෙරේ
වැලි තල කිතිකවන නටන
පෙම් රළවැල ඉවුරු බදන
මිහිතලයක සුවය දැනෙන
උකුළුතලය බඳු නැළවෙන
පෙමට පෙම පුදා - තුඩට තුඩු දිදී...
කුරුළු ගී නගයි - ආදරේ බැඳීලා...
මේ ගීතය ලියවුණ හැටි හරිම දෛවෝපගතයි. ඇත්තටම රන්මුතු දූව චිත්‍රපටියට මුල දී මේ ගීතය රචනා වෙලා තිබුණේ නෑ. වෙනත් ගීතයක් තමා ලියවිලා තිබුණේ. අමරදේවයන් ඒකට තනුවක් යොදලා තිබුණත් ඒ ගීතය චිත්‍රපටියට ගැලපෙන්නේ නෑ කියලා සහාය අධ්‍යක්ෂණය කරපු තිස්ස ලියනසූරිය, නිෂ්පාදක ශේෂා පලිහක්කාර, අමරදේව මහත්වරුන්ට අවබෝධවුණාලු.
පස්සේ ඒ ගැන කතාකරන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මුණගැහෙන්න එතුමාගේ නිවසට ගියාලු රෑ 7ට විතර. ඒ වෙනකොට මානවසිංහයන් ටිකක් මීවිත පානය කරලා හිටියේ. කාරණාව කියලා වෙනත් ගීතයක් රචනා කරලා දෙන්න බැරිද කියලා ඇහුවාම මානවසිංහයන් හා ප්‍රශ්නයක් නෑ හැබැයි මට මේක මෙහෙම ලියන්න බෑ මගේ සුන්දරියෝ ඉන්නවා අන්න අතන කියලා මිදුලේ තියෙන පොකුණ පෙන්නුවාලු. ඒ වටේ ඇති සුන්දරියන්ගේ ප්‍රතිමා එක්ක ඉඳගෙන වෙන්න ඇති එතුමා ලියන්න ඇත්තේ. පස්සේ එතැනට විදුලි ආලෝකය සපයලා අමරදේවයන් එක්ක එතැන වාඩිවෙලා ඔන්න පලවෙනි පද පේලිය ලියනවා. අමරදේවයන් අතේ ඒ වේලාවේ මැන්ඩලිනයත් තිබුණා. ඒකත් වාදනය කරනගමන් ඒ සමගම තමයි මේ ගීතයේ තනුව නිර්මාණය වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් මානවසිංහයන් ගීත ලියනකොට කොණ්ඩෙ අවුල් කරගන්නවාලු. ගීතය ලියලා ඉවර වෙනකොට මුළු කොණ්ඩෙම කපුටු කූඩුවක් වගේ අවුල් වෙලා!!!!
ඉතින් මේ ගීතය තමා නන්දා මාලනී නම් ගායිකාව මුලින්ම ගායනා කරපු ගීතය. ඇය ඒ වෙනකොට කුඩා දැරියක්. ඇයට ශබ්දාගාරයේ මයික් එකට උසවත් තිබුණේ නැලු. ඒ නිසා පෙට්ටියක් උඩට ඇයව නංවලා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. 1964 ප්‍රථම සරසවි සම්මාන උළෙලේ දී නන්දා මාලිනි මහත්මියත් නාරද දිසාසේකරයනුත් මේ ගිතය වෙනුවෙන් හොඳම චිත්‍රපට පසුබිම් ගායනාව සඳහා සම්මාන දෙකම දිනාගත්තා. එසේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයනුත් හොඳම ගී පද රචකයා ලෙසත් සම්මානයට පාත්‍ර වූවා.
රන්මුතු දූව චිත්‍රපටිය ගැන තොරතුරු සැකෙවින්.
නිෂ්පාදනය – සෙරන්ඩිබ් සමාගම වෙනුවෙන් ශේෂා පලිහක්කාර
අධ්‍යක්ෂණය – මයික් ජේ. විල්සන්
සහාය අධ්‍යක්ෂණය – තිස්ස ලියනසූරිය
කැමරාකරණය – මයික් ජේ. විල්සන්
සංස්කරණය – ටයිටස් ද සිල්වා (තොටවත්ත)
තිර රචනය – මයික් ජේ. විල්සන් (මෙය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ තිස්ස ලියනසුරිය විසිනි)
දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
ගී පද මාලා - චන්ද්‍රරත්න මානවසිංහ (බුද්ධ දිවාකරයාණෝ, ගලන ගඟකි ජීවිතේ, පිපී පිපී රේණු නටන යනාදී ගීත)
සංගීතය – පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව
පසුබිම් ගායනා - පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව, නාරද දිසාසේකර, නන්දා මාලිනී
රංගන දායකත්වය – ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජීවරාණි කුරුකුලසූරිය, ෂේන් ගුණරත්න, රොඩ්නි ජොන්ක්ලාස්, ඇන්තනි සී. පෙරේරා, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප්‍රනාන්දු, වින්සන් වාස්, ශේෂා පලිහක්කාර,
ධාවන කාලය – විනාඩි 137 යි
වර්ණය - ටෙක්නික් කලර්
චිත්‍රපටයේ ප්‍රමාණය – 35 mm
බෙදා හැරීම - සෙරන්ඩිබ් සමාගම
තිරගත වීම – වර්ෂ 1962 අගෝස්තු 10 වැනි දින
රන්මුතු දූව චිත්‍රපටියේ විශේෂතා
ශ්‍රී ලාංකික සිනමාවේ පළමු අංග සම්පූර්ණ වර්ණ චිත්‍රපටය වීම.
ශ්‍රී ලාංකික සිනමාවේ මුහුද යට දර්ශන රැගත් පළමු චිත්‍රපටය වීම.
යුරෝපීය ජාතිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
යුරෝපීය ජාතිකයෙකු විසින් කැමරා අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
යුරෝපීය ජාතිකයකු විසින් තිර රචනය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ ආචාර්ය ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය වීම.
නිධන් වස්තුවක් සොයා යන කථා පුවතක් ප්‍රධාන තේමාව කර ගත් පළමු සිංහල චිත්‍රපටය වීම.
යොවුන් ප්‍රේමය යන කාරණාව ප්‍රධාන මාතෘකාවට අමතරව යොදන ලද බාහිර සැරසිල්ලක් වූ පළමු සිංහල චිත්‍රපටය වීම.
ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ (යථාර්තවාදී) තාරුණ්‍යය නිරූපණය කළ පළමු සිංහල චිත්‍රපටය වීම.
මෙරට මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය වීම.
නාරද දිසාසේකරයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.
නන්දා මාලිනියන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක ආකෘතියට අනුව නිර්මාණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
ඒ වන විට ලෝකයේ භාවිත කරන ලද ඉහළම සිනමා තාක්ෂණය (එනනම් හොලිවුඩ් සිනමාවේ පවා) යොදා ගනිමින් නිර්මාණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
රසායනාගාර කටයුතු එංගලන්තයේ සිදු කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.
වර්ෂ 1964 දී ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් පවත්වන ලද පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචකයා ලෙස චන්ද්‍රරත්න මානවසිංහයන් (එනම් බුද්ධ දිවාකරයාණෝ නම් වූ ගීතය වෙනුවෙන්) සම්මානයට පාත්‍ර වීම.
එම වසරේදීිම හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස නාරද දිසාසේකරයාණන් සම්මානයට පාත්‍ර වීම.
එම වසරේදීම හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස නන්දා මාලිනියන් සම්මානයට පාත්‍ර වීම.
Comments