top of page
Search

හන්තානට පායන හඳ

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 2 min read

හඬ : අමරසිරි පීරිස්
පද : ධම්මික බණ්ඩාර

තනුව : විශාරද ඩැනිස්ටර් පෙරේරා

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න... කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න... මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න... හන්තානට පායන හඳ...

ධම්මික බණ්ඩාරයන් ගීත රචකයෙක් ලෙසට අමතරව වඩාත් ප්‍රකට වී ඇත්තේ උසස් පෙළ සිංහල ටියුෂන් ගුරුවරයෙක් ලෙසයි. මේ ගීතයට පාදක වූ අත්දැකීම ඔහුට ලැබෙන්නේ 1998 වසරේ දී ඔහුගේ ටියුෂන් පන්තියක දැකපු දෙයක් නිසායි. හැබැයි ගීතය රචනා වෙන්නට වූ කරුණ එතුමාට ප්‍රස්තුත වන්නේ 2005 වසරේ දී.

1998 වසරේ දී ඔහුගේ පන්තියකට ඔහු දකිනවා එක්තරා ප්‍රේමයක් දළු ලා වැඩෙනවා. හැබැයි විනය විරෝධී විදියට නම් නෙමෙයි. ඒ නිසා මේ ගැන ඔහු ප්‍රශ්න කරන්න ගියේ නැහැ. විවේක කාලයක් ලැබුණාම ගෑණු ළමයත් පිරිමි ළමයත් එකට බත් එක බෙදාගෙන කනවා ඔහු දකිනවා. කාලය ගෙවි ගිහින් උසස් පෙළ ප්‍රතිඵල එනවා. ඒ කාලයේ උසස් පෙළ විෂයන් 4ක් තිබුණා. ගෑණු ළමයා දවසක් ඇවිත් ඔහුට වැඳ "සර් මට D 4 ක්" කියා කිව්වා. ඇයට පේරාදෙණි සරසවි වරම් තිබුණා. හැබැයි පෙම්වතාට නම් සාර්ථක ප්‍රතිඵල තිබුණේ නැහැ.


කාලය ගෙවී ගියා. ධම්මික බණ්ඩාරයන්ට මේ යුවළ ගැන අමතක වෙලා ගියා. 2005 වසරේ දවසක ඔහු පාරේ යනකොට වෑන් රථයක් ඇවිත් නතර කරනවා. එයින් බැස්සේ ටයි පටියක් එහෙම පැළඳගත් තරුණයෙක්. "සර් කොහොමද?" කියා ඔහු ඇවිත් වඳිනවා. ඔහුට එක්වරම මතක් වෙනවා අර බත් මුල බෙදාගෙන කෑ පෙම්වතා නේද මේ කියලා. ඔහු අහනවා "කොහොමද දැන් අර ගෑණු ළමයා එහෙම?" කියලා. එකවරම ඔහුගේ මුහුණ අඳුරු වෙනවා. "සර් මම ඒ ප්‍රේමය අතහැරියා."


මේ පිළිතුරෙන් බණ්ඩාරයන් ද තරමක විශ්මයට පත්වෙනවා. සාමාන්‍යයෙන් සරසවි ගිය ගැහැණු ළමයි තමා බොහෝ දුරට තමන්ගේ ගමේ පෙම්වතා අතහරින්නේ. නමුත් මෙතන ඒකෙ අනික් පැත්ත. "ඇයි තමුසේ එහෙම කළේ?". "මේකනේ සර්, එයා කැම්පස් ගියා. එයාට දුර ගමනක් යන්න තියෙනවනේ. පේරාදෙණියට ගියාම කොයිතරම් සුන්දර දේවල් දකින්න තියෙනවද? ඒ සුන්දරත්වය මම නිසා දකින්න බැරි වේවි. ඒ නිසා ලියුම්ගණනක් ලියල මම අයින් උනා." "තමුසේ මහ පුදුම බෝධිසත්වයෙක් නේ!" බණ්ඩාරයන් අන්තිමට පිළිතුරු දෙනවා.


ඉතින් දවසක් පුවත් පතකට ලිපියක් ලියන අතරේ ඔහුට මේ කතාව මතක් වෙනවා. ඔහුට මතක් වෙනවා "හුළවාලි" චිත්‍රපටියේ සුනිල් එදිරිසිංහයන් ගයන "කුඩා ගමේ මද්දහනේ" ගීතය. එහි අන්තිමට තියෙනවා "ආල වඩන යන තේරුම බෝසත් කම සකී" කියලා. තමාගේ ගෝලයාත් එවැනිම බෝසතෙක් නේ ද කියලා ඔහුට හිතෙනවා. ඒ නිසාම තමන් ලියමින් හිටපු කඩදාසියේ අනික් පැත්තේ මේ ගීතයේ මුල් පද ටික ලියනවා. ඉන්පසු සති දෙකකට පස්සේ තමා ඉතිරි පදවැල සම්පූර්ණ කරන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page