top of page
Search

දේව මන්දිරේ

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : රෝහණ සිරිවර්ධන

පද : කැමිලස් පෙරේරා

තනුව : එච්. එම්. ජයවර්ධන

දේව මන්දිරේ... වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරමි දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ

අපටම වෙන්වුණු අපගේ ලෝකය යදම් පවුරු ලා දොරගුළු ලා ඇත... දෙතැනක තනිවුණු දෙසිතක සෙනෙහස කවදා හමුවේදෝ දේව මන්දිරේ... සෙනෙහස බැඳ දා ඉවත බැලූ සඳ ඈ තනිවෙනවා රුදුරු ලොවේ අද පහන් හැඟුම් අප හමුවන දින කවදා ලංවේදෝ දේව මන්දිරේ...

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහත්මයා කාලයක් කතෝලික දහම් පාසලක ගුරුවරයෙක් විදියට වැඩ කළා. ඔහු වගේම තරුණ තරුණියන් කිහිප දෙනෙක්ම මේ පාසලේ රැකියාව කළා. ඒ අතරින් කැමිලස් මහත්මයාගේ හිත ගත්ත තරුණියකුත් හිටියා. රූපයෙන් වගේම හැසිරීමෙන්, ඇය හරිම ආකර්ෂණීයයි. ඉතින් දවසක්දා තමන්ගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න ඔහු කල්පනා කළා. ඒත් ඔහු ගැන තමන්ගේ හිතේ එවන් අදහසක් නැති බවත්, තමන් කන්‍යා සොයුරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න බවත් ඇය පැවසුවා.


අනපේක්ෂිතව ලැබුණු මේ පිළිතුරින් ඔහුගේ හිත වේදනාවෙන් පිරී ගියා. සතියක් පාසා ඇයව හමුවෙන නිසා ඔහු පත් වුණේ හරිම අසරණ බවකට. කාලය ගත වෙද්දී, ඔහු තමන්ගේ ආදරය අහිමි වීමෙන් තැවෙන බව ඒ තරුණියටත් වැටහුණා. ඉතින් දවසක් ඇය ඔහුත් එක්ක මේ ගැන කතා කළා. ඇයත් ඔහුට ආදරය කරන නමුත්, ඇය කලින් අරගත් තීරණය වෙනස් කරන්න නොහැකි බව තමයි ඒ තරුණිය ප්‍රකාශ කළේ.


තවත් කාලයක් ගත වුණා. කැමිලස් මහත්මයාට මේ තරුණියව ආයෙත් මුණගැහෙනවා. ඇය ඒ වෙද්දී කන්‍යා සොහොයුරියක් බවට පත්වෙලා ඉවරයි. ඉස්සර දවසක කතා කරපු විදියටම, ඇය ඔහුත් එක්ක කතා කරලා යන්න ගියා. ඉන්පස්සේ ඇයව ආයෙත් දකින්න ලැබුණේ නැහැ. ආරංචියේ හැටියට නම්, ඇය දුර පලාතක පල්ලියකට මාරුවෙලා ගිහින්.


තමන්ගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප වුණත්, ඒ ගැන දුකක් මිස අමනාපයක් ඔහු තුළ තිබුණේ නැහැ. "උන්මාද වූ ප්‍රේමාදරේ", "වාසනා වේවා" වගේ තමන් අතින් ලියවුණු ගීත අතරින්, අදටත් කැමිලස් මහත්මයා වැඩියෙන්ම කැමති මේ ගීතයටයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page