පායා සීත රැයේ
- මාධව විජේසේකර
- Jun 20, 2017
- 1 min read



පායා සීත රැයේ
පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ // යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොඑනා ඔබේ ලොවේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ // රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ
සිංහල සිනමාවේ ජනප්‍රියත්වයෙන් යුත් මානව හිතවාදී නළු විජය කුමාරතුංගයන්ගේ හඬින් ගැයුණු මේ ගීතයට තනුව නිර්මාණය කලේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා විසින්. මෙහි අපූර්වත්වය නම්, විජය කුමාරතුංගයන් සිනමාවට ප්‍රවිශ්ඨ වූ "හන්තානේ කතාව" චිත්‍රපටියේ එතුමා වෙනුවෙන් ප්‍රථම ගීතය ගැයුවේ ද සනත් නන්දසිරි මහතා වීමයි. ඒ "අනන්ත වූ" නම් ගීතයයි. ගායනයට ඉතාමත් අපහසු එම ගීතයට විජය කුමාරතුංගයන් කෙතරම් ඇළුම් කලා ද කිවහොත්, පසුකාලීනව මේ දෙදෙනා මුණ ගැසුණු අවස්ථාවන් වල දී ඔහු ද මේ ගීතය ගයන්නට පටන් ගෙන තිබෙනවා.
එවැනි ඉතා අපහසු ගීතයක් විජය කුමාරතුංගයන් ගැයීම පිළිබඳව සනත් නන්දසිරි මහතා තුළ ඇතිවූයේ පැහැදීමක්. විජය කුමාරතුංගයන්ගේ ගායන හැකියාව එතුමා හඳුනාගත්තේ එම අවස්ථාවේ දී යි. පසුකාලීනව සිංග්ලංකා ආයතනයේ කැසට් පටයක් සඳහා මේ ගීතය නිර්මාණය කර පටිගත කරන අවස්ථාවේ දී සිලෝන් ස්ටූඩියෝ ශබ්දාගාරයට සනත් නන්දසිරි මහතා යනවිට එතුමා මුල දී හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ ගීතය විජය කුමාරතුංගයන්ට පුහුණු කරවන්නට යම් කාලයක් ගතවේ යැයි කියා. නමුත් එතුමාව විශ්මයට පත් කරමින්, එක් වරක් පමණක් තනුව කියා දුන් පසුව විජය කුමාරතුංගයන් එතුමාටත් වඩා හොඳින් ගීතය ගැයුවා! ගීතයක් ක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ හැකියාව විජය කුමාරතුංගයන් තුළ තිබුණ ආකාරය එයින් ම හිතාගන්නට පුළුවන් නේද?
Comments