පුංචි හාමු... පුංචි හාමු...
- මාධව විජේසේකර
- Jun 20, 2017
- 2 min read


පුංචි හාමු... පුංචි හාමු...
කොහේද මේ උදයෙන්...?
කුඹුරු කොටන්නට උදලු නඟුල් ගෙන සෙනඟ හොයනවා මං...
පුංචි හාමූ... පුංචි හාමූ කුඹුරු කොටන්නේ ඇයි...?
වලවු පැළැන්තිය මෙතෙක් නොකළ දේ කරන්න යනවා මං..
පුංචි හාමූ...පුංචි හාමූ කුඹුරට යන්නේ ඇයි...?
සාගිනි සතුරා සිඳ බිඳලන්නට සෙබළෙකු වෙනවා මං...
පෙට්ටගම් තුල කාසි බෝ ඇත මඩ ගා ගන්නේ ඇයි...?
නැවට කට අයා හිඳින දනන් හට කුඹුරෙන් බැත දෙමි මං....
පුංචි හාමූ...පුංචි හාමූ රට දැය රැක දෙන්නයි....
එකම මිනිස් කැළ එකම අහස යට සම සම ලෙස ඉන්නයි..
පුංචි හාමූ..පුංචි හාමූ මායිම් බිඳලන්නයි....
කෙතට නොවත් කළ දහදිය මින් මතු කුඹුරෙහි වපුරන්නම්....
පුංචි හාමු..පුංචි හාමූ රට දැය රැක දෙන්නයි.......
මගේ ගීයක වගතුග නම් මේ blog අඩවියේ ජයග්‍රාහී 200 වන ලිපියයි මේ. ඒ සඳහා මම විශේෂ ගීතයක් තෝරාගත්තා. අද මෙන් නොව එකල ගී තැටිය ධාවනය වන වේග දෙකක් තිබුණු අතර එම වේග දෙකම උපයෝගී කර ගනිමින් ගුවන්විදුලි ගීත සාහිත්‍යය තුළ ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය හිමිවන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ටයි.
චිප්මන්ග්ස් නැමැති එම ශිල්ප ක්‍රමය මින් පෙර සරල සංගීතය තුළ කිසිම ශිල්පියෙකු යොදාගෙන නොමැති අතර එතුමාගේ මෙම භාවිතයෙන් පසු එම ක්‍රමයට වෙනත් ශිල්පීන්ගේ ගීත කිහිපයක් නිර්මාණය වුණා. මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන වික්ටර් රත්නායකයන් නිර්මාණය කළ ගීතය වන්නේ “පුංචි හාමු” නැමැති ගුවන්විදුලියේ වාරණයට ලක්වූ මේ ගීතයයි. අද මෙන් නොව තාක්ෂණය අවම භාවිතයක් තිබූ එවන් අවධියක තාක්ෂණ ශිල්පීන් පවා විශ්මයට පත් කරමින් එම ගීතයේ පටිගත කිරීම සිදුකළේ යූ. ආරියවිමල් නම් වූ තාක්ෂණ ශිල්පියාණන්ය.
චිප්මන්ග්ස් නම් මේ සංගීත ක්‍රමය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ‘චිප්මන්ග්ස්’ යනු උතුරු අමෙරිකාවේ වෙසෙනා දඬු ලේනුන් වර්ගයක්. මේ නමැති සත්ත්ව විශේෂය හොලිවුඩ්, සිනමා රසිකයන්ගේ අවධානයට බෙහෙවින් පාත්‍ර වූයේ ‘ඇල්වින් ඇන්ඩ් ද චිප් මන්ක්ස්’ නමැති චිත්‍රපට සහ ගීත 1958 වසරේ දී තිරයට පැමිණීමත් සමඟයි. පසුකාලීනව සජීවීකරණය කල චිත්‍රපටි මෑත භාගයේ දී ත් ජනප්‍රිය වූවා.
ඉතින් ලොවපුරා ජනප්‍රිය වූ මේ චිප්මන්ග්ස් වර්ගයේ ගීත ශෛලියෙන් යුත් ගීතයක් ලංකාවේ කරන්නට මුලින්ම වික්ටර් රත්නායකයන්ට යෝජනාව ගෙනාවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ යූ. ආරියවිමල් මහතා. "කොහොමද මේක කරන්නේ?" යනුවෙන් වික්ටර් රත්නායකයන් ඇසූ විට ආරියවිමල් මහතා පවසන්නේ ඒ සඳහා පටිගත කිරීම් යන්ත්‍ර 3ක්වත් අවශ්‍ය බවයි. නමුත් ලංකා ගුවන් විදුලියේ එවැනි පහසුකම් නොමැති යුගයක එදා මුලින්ම එය කර ඇත්තේ මෙසේයි.
සාමාන්‍යයෙන් ගීතයක් පටිගත කරන්නේ, 7 1/2 rpm (මිනිත්තුවකට වට 7 1/2) වේගයකටයි. එනමුත් වික්ටර් රත්නායකයන් මෙහි චිප්මන්ක්ස් හඬින් එන කොටස් එම වේගයේ අර්ධ වේගය වන 3 3/4 rpm වේගයට එහෙමත් නැත්තන් ඉතාමත් වේගය අඩුවෙන් (විලම්භ ලයෙන්) ගායනා කර තිබෙනවා. ඉන්පසු එම පටියම 7 1/2 වේගයෙන් වාදනය කල විට අර චිප්මන්ක්ස් හඬ ඇසෙනවා. සාමාන්‍යයෙන් 3 3/4 rpm වේගයෙන් පටිගත කරන යන්ත්‍රයක් තිබුණා නම් රත්නායකයන්ට එසේ වේගය අඩුවෙන් ගයන්නට වන්නේ නැහැ. නමුත් එතුමා ඉතාමත් සීරුවට එය සිදු කල නිසා අපූරුවට ඒ හඬ ආවා.
ඉතින් මෙහි දී තවත් විශේෂත්වයක් තමා 3 Parts Harmony යන බටහිර සංගීතයේ එන ගායන ශෛලිය මෙහි දී යොදාගෙන තිබීම. එනම් එකම තනුවේ හඬ අන්තර තුනකින් ගැයීම. Melody, Upper Harmony සහ Lower Harmony යන කොටස් තුනම 3 3/4 rpm වේගයට ගැයීම කොච්චර අමාරු වැඩක් ද? ඒත් එම ගීතය එසේ ගයා ඒ හඬවල් තුනම එකම හඬපටියකට යූ. ආරියවිමල් මහතා ගැනීමත් තාක්ෂණය නොදියුණු එවන් යුගයක කෙතරම් විශ්වකර්මයක් ද?
එහි රසවත්ම කොටස නම්, එකල මේ ගීතය ප්‍රචාරය කරනවිට ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් හැඳින්වූයේ, "වික්ටර් රත්නායක සහ පිරිස" ලෙසයි! නමුත් ඇත්තටම පිරිසක් ගයා නැහැ!
Comments