එදා මෙදා තුර
- මාධව විජේසේකර
- Jun 19, 2017
- 2 min read

පද : විමල් ජයශාන්ත
එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින් කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින් එදා මෙදා තුර......... ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ එදා මෙදා තුර.........
අපි ආදරයෙන් රස විඳින මේ ගීතය පිටිපස්සේ තියෙන්නේ හරිම අනුවේදනීය කතාවක්. 1975 දී නිර්මාණය වූ මේ ගීතයේ පසුබිම් කතාව මේකයි. දවසක් සනත් නන්දසිරි මහතා ගෙදර ඉස්තෝප්පුවේ විවේක සුවයෙන් ඉන්නකොට එතුමා හමුවට පැමිණෙන තරුණයෙක්,
“මට සනත් නන්දසිරි මහතා මුණගැහෙන්න ඕනෙ”. “ඔව් මම තමයි” “මම ලියපු ගීතයක් තියෙනව. ඔබට ඒක ගායනා කරන්න පුළුවන්ද?” “කෝ බලමු” තරුණයා ඔහුගේ සාක්කුවෙන් කොළයක් ගෙන එතුමාට දෙන ගමන් “මේක මම ලියපු පළවෙනි ගීතය. ඒ වගෙම මම ලියන අන්තිම ගීතයත් මේක.” “හොඳ ගීතයක්. ඇයි ඔයා කිව්වෙ මේක ඔයා ලියන අවසාන ගීතය කියලා?” “මට තව ගීත ලියන්න හැකියාවක් නැහැ. මේකෙ තියෙන්නෙ මගෙ අත් දැකීමක්.” “මොකක්ද ඒ?”
මේ තරුණයා තරුණියක් සමඟ ඇති කරගත් පෙම් සබඳතාවයට තරුණියගේ ගෙදරින් ඉතා දැඩි විරෝධයක් එල්ල වෙලා. ඒ සමඟම තරුණයාට දුර පළාතකට යන්නට සිදුවුණා රාජකාරිය උදෙසා. මේ සමඟම පෙම්වතියගෙන් දුරස් වෙන්නට සිදුවූ අතර ඇය පිළිබඳ තොරතුරු ද නොලැබී ගිහින්.
. සැලකිය යුතු කාලයකට පසු තරුණයාට පෙම්වතියගේ පියාගෙන් විදුලි පණිවිඩයක් එනවා. “වහාම පැමිණෙන්න!”. තරුණයා පෙම්වතියගේ නිවෙසට යනවිට එහි අවමගුලක්. ඒ අවමගුල තමාගේ පෙම්වතියගේ. ඔහු ගීතයේ ලීවේ තමා මුහුණදුන් ඒ අවාසනාවන්ත අත්දැකීමයි. සනත් නන්දසිරි මහතාට අනුව ඊට පසු මේ ගීතයේ රචකයා වන විමල් ජයශාන්ත ඔහුට නැවත මුණගැසී නැහැ. පසුව ඔහු ජීවතුන් අතර නොමැති බව ආරංචි වෙලා තිබෙනවා.
මෙහි අනිත් කාරණය නම් විමල් ජයශාන්ත අතින් ලියවිලා තිබෙන්නේ වෙනත් පද වැලක්. "මහ නගරය මැද්දේ... කූඹි ගුලක් ඔස්සේ..." ආදී වශයෙන්. පසුව ගීතයට සුදුසු අයුරින් සනත් නන්දසිරි මහතාත්, සුනිල් ගුණවර්ධන මහතාත්, බුද්ධදාස ගලප්පත්ති මහතාත් එක්ව වෙනස් කර තිබෙනවා. නමුත් පද මාලාව මුලින් ම දුන් ඒ පුද්ගලයාට ගෞරවයක් වශයෙන් පද රචකයා ලෙස විමල් ජයශාන්ත යන නම සඳහන් වෙනවා.
මේ ගීතයේ තනුව නිර්මාණය කර තිබෙන්නේ, උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාගේශ්‍රී රාගය ඇසුරින්, ගීතයේ තිබෙන අදහස මනාව උද්දීපනය කරන අයුරින්.
Comments