top of page
Search

මහ රෑ යාමේ

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 2 min read

හඬ : මහාචාර්ය අමරා රණතුංග

හඬ සහ තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

පද : මර්වින් සේනාරත්න

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්................

මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද කියනු අසා... වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙ ම ඔබව සොයා....//

සීපද රාවේ සවනත වැකිලා ඉන් මත් වීල ද ඔබ ආවේ... මහ රෑ තනියම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ.....//

ඔබ සීපද මට හරි මිහිරී මෝරන සෙනෙහස යයි ඉතිරී..//

කියන්න සීපද රස කරලා අහන්න ඒවා සැනසීලා...//

ඔබ කියනව නම් අසා සිටින්නම් ඔබේ දෙපා මුල සැතපීලා...

අඳුරයි සුළඟයි අප ව වටා තනි රකිනව ආදරය සොයා දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැළවෙමු සුවය පතා..................//

මේ ගීතය නිර්මාණය වූයේ 1955 වසරේදී. එවකට ලංකා ගුවන්විදුලියේ සංගීත පාලක ව සිටි විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා ට අවශ්‍යව තිබුණා අපේ ම අනන්‍යතාව ඇති ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකරන්නට. එතුමා 1955 දී ගුවන්විදුලියේ සිටි සියළුම සංගීත ශිල්පීන්ට ලිපියක් යවමින්, එවැනි ගීත නිර්මාණය කරන ලෙසට ඉල්ලීමක් කර තිබුණා. ඉන් අදහස් කලේ නැහැ රාගධාරී සංගීතය ප්‍රතික්ෂේප කරන්න කියා. රාගධාරී සංගීතයේ ආභාෂයත්, අපේ දේශීය ජන සංගීතයේ එන ජන නාද රටා ඇසුරු කර අපේ රටට ගැලපෙන නිර්මාණ බිහිකරන්න කියායි එහි සඳහන් ව තිබුණේ. එහි ප්‍රතිඵලයක් ලෙස තමා මේ ගීතය නිර්මාණය වුණේ.


මුල දී මේ ගීතය ගායනා කර තිබෙන්නේ, ආචාර්ය දයාරත්න රණතුංගයන් තම අක්කා වන සෝමලතා රණතුංග මහත්මිය සමගයි. පසුකාලීනව එතුමා තම බිරිඳ වූ අමරා රණතුංග සමග මේ ගීතය ගයන්නට වුණා. එහි දී යම් වෙනස්කමක් සිදුකර තිබෙනවා. මුල් ගීතයේ කන්ද උඩින් එන ගෝමරියේ කියන කොටස ඇතුළත්ව තිබී නැහැ. එය අමරා මහත්මිය සමග ගයනවිට එකතු කල කොටසක්. අලුතින් සංගීත භාණ්ඩවල නාද ත් නැවත පටිගත කිරීමට එකතු කල බව එතුමිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තඹරවිල වැඩසටහනට එක්වෙමින් පවසා සිටියා. අද අපි මේ රසවිඳින්නේ එසේ ප්‍රතිනිර්මාණය කල ගීතයයි.


තවත් සුවිශේෂ සිදුවීමක් තිබෙනවා. 1955 දී ගීතය පළමුවරට ගුවන්විදුලියේ පටිගත කරනවිට ආනන්ද සමරකෝන් මහතා ද තමන්ගේ ගීතයක් පටිගත කිරීම සඳහා ගුවන්විදුලියට පැමිණ ඒ අසලින් ගමන්කර තිබෙනවා. ඉතින් එතුමාත්, පී ඩන්ස්ටන් ද සිල්වා මහතාත් අසල නැවතී මේ ගීතය පටිගත කරන අයුරු දැක බලා "මෙවැනි ගීත තමා අපේ රටේ දැන් බිහිවෙන්න ඕනේ." කියා ඉමහත් ප්‍රශංසාවක් දයාරත්න රණතුංගයන්ට කර තිබෙනවා. මේ ගීතය ආදර්ශයට ගනිමින් තවත් සුභාවිත ගීත රැසක් එකල බිහිවුණා.


අදටත් විදේශයන් හි දී දයාරත්න - අමරා යුවළගේ උදුම්බරා ප්‍රසංගයේ දී මේ ගීතයට වැඩි රසික ප්‍රතිචාරයක් හිමිවන බව ඒ දෙපල සතුටින් පවසනවා.


Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page