top of page
Search

ඔබයි රම්‍ය සඳ කිරණ

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 2 min read

හඬ : විශාරද නන්දා මාලනී

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : එච්. එම්. ජයවර්ධන

ප්‍රේමයේ රුදුරු බව එයයි

මිදි යුෂ යැයි රැවටී හලාහල

විෂ බිව්වේ ඇයි මා…

පෙම් දැල මැද පැටලී

සුසුම් ලා මුලා වුනේ ඇයි මා…

ප්‍රේමයේ මධුර බව මෙයයි

ඔබයි රම්‍ය සඳ කිරණ

ඝණ අන්ධකාරේ…

ඔබයි රම්‍ය සඳ කිරණ

ඝණ අන්ධකාරේ…

ඔබයි සෞම්‍ය තරු එළිය

ගිම්හාන කාලේ…//

සදා නන්ද කරවූ

ඔබේ මධුර රාවෙන්

පිපී ආමි අරවින්දයක්

සේ තඩාගේ..

ප්‍රේමය නම් කිමැයි

ඔබ මට කියාදුන්නේය

දැන් මගේ පරමාර්ථය ඔබය

මගේ පරමාදර්ශය ඔබය

මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ..

උදා වූ සුපෙම් පත්

මුසුන් වී රැදේවා

මගේ පුංචි ලෝකේ

තැවුල් දුක් නොවේවා…

ප්‍රේමයේ ද්වාරය

ඔබ මට විවර කලේය

දැන් මගේ අතීතය ඔබය

මගේ වර්තමානය ඔබය

මගේ උත්තරීතර

අනාගතය ද ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ.........


මේ ගීතය අදටත් කාටවත් හිතා ගන්න බැරි ගීයක්. සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න ලැබෙන්නේ නැති වෙනස් ආකෘතියක් මේ පද රචනාවේ අඩංගු වෙලා තිබෙනවා. ඒ කථන ස්වරූපයක් මෙහි ගැබ්ව තිබීම. ගීතයේ ආරම්භයත් අතර මැද අන්තරා කොටස් වලට පස්සෙත් යම් කථනයක් අපිට අහන්න ලැබෙනවා. අනිත් වැදගත් ම දේ තනුව. මේ ගීතය ඇත්තටම ආදර ගීතයක්. නමුත් සාමාන්‍යයෙන් ආදරය උතුරා යන හැඟීම වෙනුවට ආදරය නිසා හිත දැහැන්ගත වන ආකාරයේ තනුවක් එච්. එම්. ජයවර්ධනයන් නිර්මාණය කර තිබෙනවා.


මෙහි පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ. ගීතයට තනුව නිර්මාණය කර තිබෙන්නේ විශාරද නන්දා මාලනියගේ නුගේගොඩ පිහිටි නිවසේ දී. සාමාන්‍යයෙන් සුනිල් ආරියරත්න මහතාගේ පුරුද්දක් තිබෙනවා තමන්ගේ පද රචනාවකට තනුවක් නිර්මාණය කරන කොට ළඟටම වෙලා ඒ තනුව ගැන උපදෙස් දෙන සිරිතක්. මේක මෙහෙම වුණොත් හොඳයි ආදී වශයෙන් එතුමා තම පද රචනාවෙන් අදහස් කල දේ තනුවෙන් උත්සුක විය යුතු ආකාරය ගැන කියනවා. ඇත්තට ම සුභාවිත ගීතයක් නිර්මාණය විය යුත්තේ අන්න ඒ විදියටයි. එකට එකතුවෙලා නිර්මාණය හැදෙනකොට ඒ නිර්මාණයේ පැවැත්ම වැඩියි.


ඉතින් නන්දා මාලනියගේ නුගේගොඩ නිවසේ දී මේ තිදෙනාම එක්වී ගීතය නිර්මාණය කරනවිට, මහාචාර්යතුමා එච්. එම්. ජයවර්ධනයන්ට හුඟාක් උපදෙස් දීලා තිබෙනවා. එතුමාට ගීත ගයන්න බැරි වුණත්, අර කථන ස්වරූපය එන තැන් එතුමා විසින්මයි මුලින් කියලා තියෙන්නේ. ඒ තැන් මේ විදියට කියවෙන්න ඕන කියලා. ඒවාට අනුගත වෙන විදියට තමයි තනුව නිර්මාණය විය යුත්තේ කියලා. හැබැයි කවුරුත් නොදන්න දේ තමා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සංගීතය පිළිබඳ ප්‍රථම පන්තියේ විශාරද උපාධියකුත් හිමිවෙලා තිබෙනවා!


මේ තනුව ගැන අදටත් බොහෝ දෙනා පුදුම වෙනවා. එච්. එම්. ජයවර්ධනයගේ විශිෂ්ඨතම තනුව මෙයයි කියා මම කිව්වොත් ඔබ එකඟ වෙනවා නොඅනුමානයි. වරක් ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන්, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන් අහනවා "මචං රෝහණ, කොහොමද මේ වගේ තනුවක් එච්. එම්. හැදුවේ?" කියලා. "මං දන්නේ නැහැ මචං. අදටත් හිතාගන්න බැහැ කොහොම කලා ද කියලා" එය තමයි ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ පිළිතුර.


1985 දී තමන්ට හොඳම චිත්‍රපට පසුබ්ම් සංගීතයට ලද ජනාධිපති සම්මානය සහ හොඳම චිත්‍රපට පසුබිම් ගීයට ලද ජනාධිපති සම්මාණය, ඒ වසරේ වඩා උසස් නිර්මාණයක් කර තිබෙන වෙනත් සංගීතඥයෙකුට වඩා හිමිකමක් ඇතැයි කියා ප්‍රතික්ෂේප කල මේ උතුම් මිනිසා ගැන, ලාල් ආනන්ද අබේධීරයන් අපූරු කතාවක් කියනවා. "සොෆොක්ලීස් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටියා ඒ යුරිපිඩීස්, ෂේක්ස්පියර් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටියා ඒ ක්‍රිස්ටෝපර් මාව්ලෝ, කාළිදාස ගාවට එහෙම වෙන්න පුලුවන් නුමුත් උනේ නැති කෙනෙක් හිටියා ඒ භාරවී, වගේම ලංකාවෙ කේමදාස වෙන්න තිබුන එහෙම නොවුන කෙනා තමයි එච් එම් ජයවර්ධන"

コメント


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page