ඔබ හා මෙමා අතිනත් අරන්
- මාධව විජේසේකර
- Jun 18, 2017
- 2 min read


පද : විමලා රංජනී පීරිස්
ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා
සිපගත් මෙදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී
සෙනෙහස සේවූයේ ඒ සොදුරු දා සිහිවෙනවා
ඒ සොදුරු දා සිහිවෙනවා
ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා
සිපගත් මෙදා සිහිවෙනවා
ටී. එම්. ජයරත්නයන්ගේ ගීත අතරින් හිත් දැහැන්ගත කරවන ගීතයක් තමා මේ. ආදරය සෙනෙහස ආදී හැඟීම් උතුරා යන මේ තනුව නිර්මාණය කලේ එච්. එම්. ජයවර්ධනයන්. මේ තනුව ගැන අපූරු කතාවක් තියෙනවා. අපේ රටේ ප්‍රවීණ සංගීතඥයෙක් වුණ බී. වික්ටර් පෙරේරා මහතා රාගධාරී සංගීතය ඇසුරින් නිර්මාණය වූ ගීත ගැන කෘතියක් ලියන්න අවශ්‍ය කරුණු ගවේෂණය කරන අතරේ මධුමත් සාරංග රාගය ඇසුරින් නිර්මාණය වූ ගීත ගැන හොයනවා. ඒ අතරේ මේ ගීතයත් එතුමාට හමුවෙනවා.
ඉතින් වික්ටර් පෙරේරා මහතා එච්. එම්. ජයවර්ධනයන් හමුවී අහනවා "ජයේ, කොහොමද ඔයා මධුමත් සාරංග රාගයෙන් මේ ගීතය නිර්මාණය කලේ? හරිම ලස්සන ගීතයක්." එහෙම ඇහුවාම, ජයවර්ධනයන් කියනවා "අනේ මං ඔය රාගය ඇහුවෙත් අදයි. මට ඔය රාගයේ මුඛ්‍යාංගය ලියලා දීලා යනවාද?"
ඇත්තටම එච්. එම්. ජයවර්ධනයන් කියන්නේ සංගීතය ක්‍රමානුකූලව හදාරපු පුද්ගලයෙක් නෙමෙයි. මේ අහිංසක අපූරු මිනිසා තම සංගීත චාරිකාව ආරම්භ කරන්නෙ බටනලාවකින්. පාසැල් මිතුරෙකුගෙ බටනළා වාදනය දැකීමෙන් ඇතිවන ඇල්ම, ඒ ආසාවට ඔහුත් බටනළාව වයන්න උත්සාහ කරනව. මේ උත්සාහය අගය කල පාසැලේ සංගීත ගුරුතුමා, ඔහුට බටනළා වාදනය උගන්වනවා.
පසු කලෙක තමන්ට ලැබිල තිබ්බ පාසැල් ශිශ්‍යත්වය අහිමි වීම නිසා කැලේ ලී ඉරන්න යන මේ ගැටය, තමන්ගෙ බටනළා වාදනය අමතක කරන්නෙ නෑ. අහම්බෙන් දකින ගුවන්විදුලි අනියම් වාදක තනතුරට බටනලා වයන්න අයදුම් කරන්න ඔහු කොළඹ එනවා.
දක්ෂ ලෙස තම වාදනය ගුවන්විදුලි වාදක මණ්ඩල තේරීම් කමිටුව ඉදිරියෙ වාදනය කරත්, ඔහුව තේරෙන්නෙ නෑ. හේතුව, ඔහු වාදනයකරන්නෙ හඬට, එහෙම නැතිනම් ඉයර් එකට මිස ස්වර ප්‍රස්ථාර අනුව නොවීම. තම පාසැල් ගුරුතුමාගෙන් අසාවට ඉගෙන ගත් ශිල්පය සම්පූර්ණ නොකිරීම වගේම කිසිම සංගීත ගුරුකුළයකට නැති වීම, සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් නැති කම නිසා මේ තරුණ වාදකයා ගුවන් විදුලියෙන් ඉවතට විසිවෙනවා.
කොළඹින් ඉතාම දුර බැහැර, අලි කොටි ගැවසුන කැලේ ගමෙන් ආ තරුණය මේ අවනඩුව කියන්නෙ හෙළයෙ මහා සංගීතඥ අමරදේවයන්ට.වඩුවෙකුගෙ පුතෙක් වූ, ශිශ්‍යත්වයක් නිසා සංගීතඥයෙක් වුනු අමරදේවයන් මේ තරුණයගෙ හැකියාව හඳුනගෙන, ඔහුව අගය කරල බඳවගන්න නිර්දේශ කරනවා. ඒත් එක්කම අපේ කථා නායකයට හමුවෙනව තමන්ගෙ ඈත ගමේ පාසැලේ කලක් ඉතිහාස ගුරුවරයෙක් වෙච්චි සිනාමාකරු වසන්ත ඔබේසේකරයන්ව. වෙච්චි අවනඩුව අහන ඔබේසේකරයන් මේ තරුණයව ගන්න කියල රෙකමදාරුවක් දෙනව ගුවන් විදුලි පාලනයට.
එදා අනියම් වාදක රැකියාවෙන් ඇරඹෙන ගමණ, ඔහුව තම ස්වොත්සාහය සහ ජන්ම හැකියාව මගින් ඉතාම විශිශ්ඨ සංගීතඥයෙක් තත්වයට ගෙනෙනව. අද ඔබත් මමත් අතිශයින් ප්‍රිය කරන ගී විශාල සංක්‍යාවක් සඳහා තනු හදා දුන් මේ අපූරු මිනිසා, පාසලෙන් මතු කිසිම සංගීත අධ්‍යාපනයක් නොලද්දකු බව ඔබ පිළිගනියිද? එහෙත් යථාර්ථය එයයි.
Commentaires