අක්කේ ටිකක් ඉන්නකෝ
- මාධව විජේසේකර
- Jun 18, 2017
- 4 min read



අක්කෙ ටිකක් එන්නකෝ
ඇවිදින් ඉඳගන්නකෝ
පුංචි කතාවක් කියන්න තියෙනවා //
මල්ලි නිකන් ඉන්නකෝ
මට ඉන්නට දෙන්නකෝ
ගෙදර දොරේ වැඩපල මට තියෙනවා//
මල්ලි හරිම දඟකාරයි කියන කිසිත් දේ නාසයි
අක්ක හරිම කටකාරයි ආදරයක් නැති ගානයි...//
ඕ..... අතන මෙතන සෙල්ලමට ම මුළු දවසම ගෙවනවා
ඒ මදිවට ගෙදර ඇවිත් මට කරදර කරනවා
අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගෙ වැරදිමයි
ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනට ම නාකි වෙයි
අක්කෙ ටිකක් එන්නකෝ...
මල්ලි හරිම දඟකාරයි ...
ඕ..... හිඳින්න අම්මා එනතුරු කරවන්නම් හොඳ වැඩක්
ගෙදර දොරේ වැඩ හින්දා මට ඕවට නැහැ ඉඩක්
මම නැහැ බය වෙන්නෙ අක්කෙ වේවැල ඇත හංගලා
අම්මා ආදරෙයිනෙ මට මොනවා කලත් අක්කලා
මල්ලි නිකන් ඉන්නකෝ...
අක්කෙ ටිකක් එන්නකෝ
මල්ලි නිකන් ඉන්නකෝ...///
අද ළමා වැඩිහිටි භේදයකින් තොරව ආස කරන මේ ගීතය නිර්මාණය වුණේ 1959 වසරේ දී. මේ ගීතය ගායනා කලේ පුෂ්පරාණි ආරියරත්න මහත්මිය සහ සරත් සන්දනායක මහතා. ගීතයේ පසුබිම් කතාව කියන්න කලින් පුෂ්පරාණි ආරියරත්න මහත්මිය ගැනත් සන්දනායක මහතා ගැනත් කෙටි විස්තරයක් කිරීම සුදුසු යැයි මා සිතනවා.
ශ්‍රී ලංකාවේ කලෙක ජනප්‍රිය වී සිට, ඇගයීමට ලක්නොවී, අවසාන කාලයේ දුක්ඛිතව මියගිය කලාකරුවන් ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ අතරින් එවැනි කලාකරුවන් මියගිය බව ගුවන්විදුලියෙන් වත් ප්‍රචාරය නොවූ අයත් ඉන්නවා නම් එය ඊටත් වඩා ඛේදනීය තත්ත්වයක්. ඇතැම් විට එවැනි අය ගැන මාධ්‍යවලින් මියගිය පසුවවත් මෙනෙහි නොකරන අඩුතරමේ අන්තර්ජාලයේවත් තොරතුරු හොයාගන්න බැරි තරම්. ඉතින් "පුෂ්පරාණි ආරියරත්න" කියන්නෙත් එසේ ජනප්‍රිය තලයක ඉඳලා අර කිව්ව ආකාරයට නිහඬව මිය ගිහිල්ලත් කතාබහට ලක්නොවන ගායිකාවක්.
පුෂ්පරාණි මහත්මිය ඉපදිලා තියෙන්නේ, 1936-07-21 වන දා. ඇගේ මුල් නම "වී.ලෙස්ලින් මැතිව්". ඇගේ මව සිංහල කාන්තාවක්. පියා වෙනත් ජනවර්ගයකට අයත්. බර්ගර් ජාතිකයෙක් කියා අනුමාන කරනවා "මැතිව්" යන නම නිසා. ඇය "පුෂ්පරාණි" යන නම මුල්වරට භාවිතා කලේ, "එබී එබී යන්නේ බයෙන්" යන ගීතය HMV තැටියකට ගායනා කලාට පස්සේ. ඒ සඳහා ඇයට ආරාධනා කලේ එම්. කේ. රොක්සාමි මහතා විසින්. "ආරියරත්න" වූයේ විවාහයෙන් පස්සෙ. එතැන් පටන් ඇය "පුෂ්පරාණි ආරියරත්න" වූවා. ඇය මුලින්ම ලංකා ගුවන්විදුලියට පය තැබුවේ 1957 ඔක්තෝබර් 17 වෙනිදා. ඒ රාත්‍රී 7:45 සිට 8:00 දක්වා "එන්. ඇන්තනී" මහතා විසින් නිෂ්පාදනය කල වැඩසටහනක් සඳහා. ඇය පැමිණියේ යුග ගීතයක් සඳහා සහාය විමටයි. මේ එන්. ඇන්තනී යනු කවරෙකුවත් නොව, අද අපේ දක්ෂ ගිටාර් වාදකයෙක් සහ සංගීතඥයෙක් වන "ඇන්තනී සුරේන්ද්‍ර" මහතාගේ ආදරණීය පියාණන්. ඇයගේ ගීත ගොඩක් ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය කලා. ඊට අමතරව වෙළඳ සේවයෙත් ප්‍රචාරය කලා.
ඇයට 1960 දශකයේ දිවයින පුරා ප්‍රසංග වේදිකාවල පවා ඉතා හොඳ ඉල්ලුමක් එවක තිබුණා. විශේෂයෙන් ම Kandy Lake Club හි රසිකයන්ගේ දැඩි ඉල්ලුමක් එකල ඇයට තිබුණා. විවියන් ද සිල්වා බොරලැස්ස, සිඩ්නි ආටිගල, සී. ඩී. ෆොන්සේකා යනු ඒ කාලේ ප්‍රසංග වේදිකාවල ඇය සමග ගීත ගායනා කල අනෙක් ශිල්පීන් කිහිපදෙනෙක්. එසේම යාපනයේ පැවති ප්‍රසංගවලදී ඇය දෙමළ භාෂාවෙන් පවා ගීත ගායනා කර තිබෙනවා. ඇයට දෙමළ භාෂාව ගැනත් මනා පරිචයක් තිබුණා.
ඉතින් මෙවැනි ජනප්‍රිය තලයේ හිටපු ගායිකාවක වූ පුෂ්පරාණි ආරියරත්න මහත්මියට අවසාන කාලයේ දී ඛේදනීය ලෙස නිහඬව ජීවත් වන්නට වූයේ එවකට ලංකා ගුවන්විදුලියේ තිබූ "කල්ලි වාදය" නිසායි. අනිත් එක ඇගේ බොහෝ ගීත රචනා කලේ ගුවන්විදුලියේ සේවය නොකල පිටස්තරයෙක් වූ මර්වින් සේනාරත්න මහතා අතින්. මේකත් ඇයට බොහෝ ලෙස බලපෑවා. මොකද එවකට ගුවන්විදුලියේ යම් අසම්මත නීතියක් තිබුණා "ගීතයක් ජනප්‍රිය වෙන්නට නම්, ගුවන්විදුලියේ සේවය කල අයෙකුගෙන් ම ගීතයක් ලියවා ගත යුතු වීම". මේ ගණයට පුෂ්පරාණි මහත්මිය අයත් නොවීම නිසා ඇය ව කොන්වීමකට ලක් වී තිබුණා. ඒ නිසාම කාටත් හොරා ඇයව අමතක වෙන්නට පටන් ගත්තා.
මෙවැනි තත්ත්වයක් යටතේ, ඇයගේ පුද්ගලික ජීවිතයේ පවා යම් ගැටළු ඇති වී තිබුණා. තම සැමියා වූ ආරියරත්න මහතාගේ මරණය නිසා ඒ තත්ත්වය තවත් උග්‍ර වූවා. ඒ නිසාම ඇය තම අන්තිම කාලයේ ආහාර ව්‍යාපාරයක් කුරුඳුවත්ත, ඉබ්බන්වෙල හන්දියේ පවත්වාගෙන ගිය බවට තොරතුරු වාර්තා වෙනවා. මීට අමතරව බෝඩිං හවුස් එකක් පවා පවත්වාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඇය ක්ෂේත්‍රය ගැන කළකිරීමකින් හිටියේ. එක් කැසට් පටයක් පමණක් නිෂ්පාදනය කලා.
මෙසේ කලා ලෝකයෙන් මියගිය එතුමිය සැබැ ලෝකයෙන් මිය ගියා ද යන්න වග අදටත් බොහෝ දෙනා දන්නේ නැති තරම්. 2001-10-04 වන දින ඇය මියගිය අවස්ථාවේ දී ඇයගේ ගීත ප්‍රචාරය කල ගුවන්විදුලියේ පවා ඇගේ මරණය ප්‍රචාරය වූයේ නැහැ. ඒ වෙනකොටත් ඇගේ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය නොවූ නිසා ද මන්දා ඇයව අමතකව යන්නට ගිහින් තිබුණා. ඇගේ අවසන් කටයුතු කරන අවස්ථාවේ දී කනත්තට පවා ගිහින් තිබුණේ බොහෝම අතලොස්සක් පමණයි. කලා ලෝකයේ අය පවා සිටියාද යන්න ප්‍රශ්නාර්ථයක්.
මේ සන්දනායක පවුල ගැන නොදන්නවා නම් පොඩි සඳහනක් කරන්නම්. "වසන්තා සන්දනායක" මහත්මිය තමයි මේ ගායන පවුලේ ජ්‍යේෂ්ඨතමයා. ඇයගේ දියණිය තමයි "දයා හේමන්තා සන්දනායක". (විවාහයෙන් පසුව අබේසේකර). පුතා තමයි "සරත් සන්දනායක". එතකොට දයා හේමන්තා අබේසේකරගේ දියණියන් දෙදෙනාත් ගායන ලෝකයට පිවිසුණා. ඒ "සුප්‍රියා අබේසේකර" සහ "සධානා අබේසේකර". මෙයිනුත් සධානා අබේසේකර විවාහ වී සිටින්නේ "ආචාර්ය දයාරත්න - මහාචාර්ය අමරා රණතුංග" යුවළගේ වැඩිමහල් පුතු වන නන්දිත රණතුංග සමග. ඊටත් අමතරව "සුජාතා අත්තනායක, රංජනී පෙරේරා සහ සුසිල් පෙරේරා" යන කලාකරුවන්ගේ පියාණන් යනු වසන්තා සන්දනායක මහත්මියගේ එක කුස උපන් සොහොයුරෙක්. ඒ කියන්නේ ප්‍රවීණ ගායිකාවන් වන සුජාතා අත්තනායක, රංජනී පෙරේරා යනු සුප්‍රියා සහ සධානා අබේසේකර දෙදෙනාගේ නැන්දණියන් වන අතර ප්‍රවීණ ජෑස් ඩ්‍රම්ස් වාදක සුසිල් පෙරේරා මහතා ඔවුන් දෙපළගේ මාමා වෙනවා.
හරි දැන් "අක්කේ ටිකක් ඉන්නකෝ" ගීතය ගැන බලමු. මේ සන්දනායක සහ පුෂ්පරාණි මහත්මියගේ පවුල් දෙක අතර එදා සිටම හිතවත් කමක් තිබුණා. සන්දනායක පවුල එවකට (1959) පදිංචිවෙලා හිටියේ කොළඹ ගංගාරාමය පන්සල අසල පිහිටි නිවෙසක. පුෂ්පරාණි මහත්මිය එවකට ඉඳලා තියෙන්නේ කොම්පඤ්ඤවීදියේ. ඒ නිසාම සරත් සහ පුෂ්පරාණි දෙදෙනාත් අක්කයි මල්ලියි වගේ ඇසුරු කරලා තියෙනවා. මේ ගීතය රචනා කරලා තනු නිර්මාණය කල "මර්වින් සේනාරත්න" මහතා වසන්තා සන්දනායක මහත්මියට බොහෝ ගීත රචනා කරලා තියෙන්නේ. ඒ ඇසුර හරහා තමයි පුෂ්පරාණි මහත්මියට එන්. ඇන්තනී මහතාව ගැසී තිබෙන්නේ. ඉතින් ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක විදියට සමත් වූ ඇයගේ සරල ගී වැඩසටහනක් සඳහා තමයි මේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ. පසුකාලීනව HMV තැටියකටත් මේ ගීතය තැටිගත කරනු ලැබුවා. ඒ වෙනකොට සන්දනායක මහතාගේ වයසත් අවුරුදු 16ක්. මේ ගීතයෙන් පසු පුෂ්පරාණි මහත්මියටත් බොහෝ ගීත රචනා කරලා දුන්නේ ත් මර්වින් සේනාරත්න මහත්මා විසින් මයි.
මර්වින් සේනාරත්න මහත්මා ඇත්තට ම දක්ෂ විරිඳු ගායකයෙක්. එතුමාගේ ගී පද රචනා වල ඒ ස්වරූපය ගැබ්වෙලා තිබෙනවා. මේ ගීතය තුළත් ඒ බව තිබෙනවා. විශේෂයෙන් ම පාසල් වලත් මේ ගීතය සඳහා විශේෂ ඉල්ලුමක් තිබුණ බව සන්දනායක මහතා පවසනවා.
Comments