පෙමාතුර හැඟුම්
- මාධව විජේසේකර
- Jun 17, 2017
- 1 min read


පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්.. නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්.. නියාළුව හදින් - පියා නෙතුපියන්.. යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්.. මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්.. අරාජික පරාදීසය සොයා එමි සිතින්.. පෙමාතුර හැඟුම්... අරා සිරි යහන් - නිදා වැතිරෙමින්.. සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්.. සුරා මල් පැණින් - පොඟා යුග ලවන්.. පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්.. පෙමාතුර හැඟුම්...
සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය වෙනකොට තනුව නිර්මාණය කරන්නේ සංගීතඥයා අතින්. නමුත් පද රචකයා අතිනුත් ගීතයක් රචනා වෙනකොටත් එක්තරා තනුවක් සිතේ මවාගෙන එසේ රචනා වෙනවා. දක්ෂ සංගීතඥයෙකුට පුළුවන් එය මතුකර ගන්න පද මාලාව බැලුවාම. හැබැයි මේ ගීතයට තනුව නිර්මාණය කරන්න මූලික අදහස දීලා තියෙන්නේ ගීතය රචනා කල ආචාර්ය අජන්තා රණසිංහයන් කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇති.
ඔව්. එතුමා මේ ගීතය මහාචාර්ය සනත් නන්දසිරි මහතා අතට දුන්නාම කිසිම ආකාරයක තාල රූපයක් මහාචාර්යතුමාගේ මනසට ඇවිත් නැහැ. "කොහොමද මචං මේකට තනුවක් දාන්නේ? එහෙම ස්වරූපයක්වත් මේකේ නැහැනේ" යනුවෙන් සනත් නන්දසිරි මහතා විමසූ විට අජන්තා රණසිංහයන්, "මොකද නැත්තේ ඔය තියෙන්නේ." කියා අපි අද මේ අසන විදියටම එතුමා ලලා ලලල ලා... ලලා ලලල ලා... යනුවෙන් මුමුණා තිබෙනවා. "ආ! ඇත්ත නේන්නම්. පුළුවන් නේ හැබෑටම" යනුවෙන් පිළිතුරු දුන් සනත් නන්දසිරි මහතා, ඒ තාල රූපයටම තනුව නිර්මාණය කලා.
ඕනෑම ගීතයක ගී පද රචකයාටත් යම් තනුවක් මනසේ මැවෙනවා. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රබලව බලපාන බව මේ සිද්ධියෙන් දකින්නට පුළුවන්. එසේම, කවුරුත් නොදන්න කාරණාව නම්. අජන්තා රණසිංහයන්, ගී පද රචකයෙක් ලෙස ජනප්‍රිය වූවත් එතුමා ගුවන් විදුලියේ සරල ගී පරික්ෂණයෙන් සමත් වූ B ශ්‍රේණියේ ගායකයෙක්! හැබැයි කිසිම දවසක ගීතයක් නම් ගයා නැහැ.
Comments