top of page
Search

මංගල මධු සමය පතා

  • මාධව විජේසේකර
  • Jun 16, 2017
  • 2 min read

හඬ : ආචාර්ය දයාරත්න රණතුංග

පද : උපාලි ධනවලවිතාන

තනුව : සරත් ද අල්විස්

මංගල මධු සමය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා

හෝ... හෝ... හෝයියා හෝයියා //

රැල්ල බිඳින අඳෝනාව ජීවන මළපොත කියවයි නිම් නැති නිම් වළලු පෙළේ සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොණේ අතු පැලේ

හෝ... හෝ... හෝයියා හෝයියා //

අඳුර දවන තාරකාව කළු ලන්තෑරුම් එළියයි ඔරු බඳ තුරුළේ දැණුනේ ඊයෙ ලද උණුසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොණේ තොටුපලේ

හෝ... හෝ... හෝයියා හෝයියා ///

අදටත් රසික ප්‍රතිචාර අඩුවක් නැති මේ ගීතය රචනා වුණේ මෙහෙමයි. ආචාර්ය දයාරත්න රණතුංගයන්ට තම සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් අඩුව තිබිය දී එතුමා උපාලි ධනවලවිතානයන්ව මුණ ගැසී තම අවශ්‍යතාව කිව්වාම "මේ හදිසියේ මට ගීතයක් ලියන්න නිමිත්තක් පහලවෙන්නේ නැහැ. අපි නිවාඩු දවසක පොඩ්ඩක් ගෙදරින් එළියකට ගිහින් නිවී හැනහිල්ලේ ක්ල්පනා කරමින් හොඳ ගීතයක් ලියමු" කියා එතුමා යෝජනා කරනවා.


ඒ අනුව ඉරිදා දවසක මේ දෙදෙනාම ගාලුපාර දිගේ කළුතර ගාල්ල පැත්තට වාහනයක නැගී යනවා. මුහුදු වෙරළක් අයිනේ ගිමන් විඩාව හැරීමට නැවැත්වූ පසු ඒ අසල තිබූ ගල්තලාවක් මත හිඳගෙන ඔවුන් මුහුදු වෙරළ දෙස බලා සිටිනවා. සැන්දෑ යාමයේ මුහුදු යෑම සඳහා ධීවරයින් ඔරුවට නගින්නට සූදානම් වන වෙලාව මේ වන විට එළඹෙමින් තිබුණා. එසේ පැමිණි ධීවරයින් අතර තරුණ ධීවරයෙක් තම අලුත විවාහ වූ බිරිඳ සමග පැමිණ සිටියා. තම සැමියා තමන්ගෙන් වෙන්වී මුහුදට යන අවස්ථාව නැරඹීමට පැමිණ ඔහුට සමුදෙන්නට පැමිණි තරුණ බිරිඳට නැවත තම සැමියා දකින්නට ලැබෙයිද? මුහුද රළු වෙයිද? යන හැඟීම් ඇයට ඇතිවෙනවා නේද යන ප්‍රස්තුතය උපාලි ධනවලවිතානයන්ගේ හිතට නැගෙනවා.


"මේ ධීවර ජනතාවගේ ජීවිත කොච්චර දුෂ්කරද? මේ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ." එතුමා කී විට, "අපි ඒ ගැන කතාකරමු." යැයි දයාරත්න රණතුංගයන් පවසනවා. "ඔව් අපි මේ ගැන ගීතයක් ලියමු. අපි මින් එහාට යන්න ඕන නැහැ." මෙසේ ප්‍රස්තුතය ගැන කතාකරන විට ආචාර්ය දයාරත්න රණතුංගයන්ට මතක් වෙනවා දර්බාරි කානඩා රාගය ගැන. එහි ස්වර සංගතියත් හරියටම මුහුදු රැල්ල නැගෙන ආකාරය වගේමයි. එම රාගය ගායනා කල පසු ධීවර ජනතාවගේ ජීවිතයත් අපූරුවට අලලා මේ පද මාලාව රචනා වෙනවා.


තනුව නිර්මාණයේ දි මේ දෙදෙනාත්, සරත් ද අල්විස් මහතාත් තිදෙනා ම එකතුවී දර්බාරි කානඩා රාගය ඇසුරු කරමින් මේ ගීතය නිර්මාණය සිදුවෙනවා.


දර්බාරි කානඩා රාගයත් ඇත්ත වශයෙන් ම සංගීත චිකිත්සාවේ එන ප්‍රබල රාගයක්. එහි ස්වර සංගතිය අනුව හඳුන්වන්නේ, තාපස චරිතයක් ලෙසයි. කානඩා යන රාග නාමය "කානර්" නම් ක්‍රිෂ්ණා දෙවිඳුගේ එක්‌ ස්‌වරූපයක්‌ සඳහා යෙදූ නාමයකි. දර්බාරි යනු පර්සියානු බසින් හින්දි බසට පැමිණි "අධිකරණය" නම් වූ තේරුම ඇති වචනයක්. මේ රාගය නින්ද නොයාමේ රෝගයටත් ඉතා ප්‍රබල ඖෂධයක් ලෙසත් සංගීත චිකිත්සාවේ සඳහන් වෙනවා.

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page