ප්‍රඥා ප්‍රදීප දල්වා
- මාධව විජේසේකර
- Jun 13, 2017
- 1 min read



ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා...
ලෝකාලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ... ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පද්ම නමාමී...
කරුණා සීතල හදිනී වස්වා සද්ධර්ම වර්ෂා... ජනතා විමුක්ති සලසා පෑ ලෝකානුකම්පා... ශ්‍රී ඝන මෛත්‍රී මූර්ති ශ්‍රී පාද පද්ම නමාමී...
පාරමිතා උපහාරි පුන්‍ය ක්‍රියා බලධාරි... ඥාන විශේෂ නිවාසී මාර පරාජිත සෑසී... ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පද්ම නමාමී...
මේ ගීතය 1975 වසරේ, ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ විසින් සංවිධානය කරන ලද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ වෙසක් භක්ති ගීත මහා සංදර්ශනය සඳහා නිර්මාණය වූ ගීතයක්. එම තරගයේ ප්‍රථම ස්ථානය දිනූ භක්ති ගීතය ලෙස මේ ගීතය ඉතිහාසගත වුණා. එදා නන්දා මාලනී මහත්මිය සමග සිසු සිසුවියන් 1000ක් මේ ගීතය ගායනා කලා. එදා එම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූයේ එවකට ලංකා අගමැතිව සිටි ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. මේ ගීතය පසුව නන්දා මාලනී මහත්මියගේ ඒකල ගීතයක් ලෙස ගුවන්විදුලියේ පටිගත වුණා.
මේ ගීතය රචනාකල විමලේන්ද්‍ර වතුරේගම මහතා ගැනත් වචනයක් සඳහන් කල යුතුයි. 1914 නොවැම්බර් 23 වැනිදා වැලිතර වැල්ලබඩ දී උපත ලැබූ විමලේන්ද්‍ර වතුරේගම මහතා, විමල ඛන්ති නමින් කලක් පැවිදිව සිටියා. හැටේ දශකය මුලදීම උපැවදිව දවස පුවත්පතේ් කර්තෘ මණ්ඩලයේ සේවය කළ එතුමා ‘ගෞතම ගීතය, එක දවසක් බුදුන් දුටිමි’ වැනි කාව්‍ය ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළා. 1982 දී සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති පදවියට පත් වූ එතුමා 1972 කවිපති පදවියෙන් ද 1981 සර්වර්ණ කවි ජයන්තියේදී කවි ශිරෝමණී පදවියෙන්ද උපහාර ලැබුවා. 1991 අගෝස්තු 21 වැනිදා වතුරේගමයන් මෙලොව හැර ගියා.
Comentarios