top of page
Search

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ

  • මාධව විජේසේකර
  • Jun 11, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පද : දිවංගත ජනාධිපති අතිගරු රණසිංහ ප්‍රේමදාස

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ …..//

අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා සිලි සිලි සිනිඳු දිව සළු පිළි හැඳ පළඳා මජනයාට වැදි බණ කියමින බොලඳා සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

ඉර හඳ අදත් පායනවා හද අරණේ මගෙ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ

හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ ….////


මේ ගීතය රචනා කලේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින්. 1970 දශකයේ එතුමා දවසක් තම දරු පවුලත් එක්ක රට වටා සංචාරයක් යන අතරේදී මිහින්තලාවටත් යනවා. එවකට කුඩා වියේ හිටපු සජිත් ප්‍රේමදාස පුතු සමග එතුමා ආරාධනා ගල තරණය කරනවා. දුලාංජනී දියණිය, හේමා ප්‍රේමදාස මැතිණිය සමග පාමුල ඉන්නවා.

හිරු බැස යන සැන්දෑවක ආරාධනා ගල මුදුනට නැගි පසු, ප්‍රේමදාස මහතාට බටහිර දෙසින් අනුරාධපුරය දකින්නට ලැබුණා. රුවන්වැලි සෑය, ජේතවනාරාමය ආදි මහා දාගැබ් අහස් කුස සිප ගන්නා අයුරු, වැව් ආදිය දකිනවිට එතුමාගේ හිත හැඟුම්බර වෙනවා. රුවන්වැලිසෑය දෙසට අත පෙන්වා තම පුතු සජිත්ගෙන් එතුමා මෙහෙම අහනවා.


"පුතාට පේනවා ද ඒ අතීතය?"

"කෝ" සජිත් විමසනවා.

"අර ඈත. ඒ තමා අතීතය. අදට වඩා දියුණු අතීතයක් අපට තිබුණා. දැක්කද පුතා? පුතාට ආඩම්බර ද?"

"ඔව් තාත්තේ, ඒ රුවන්වැලිසෑය නේද? ඒක මෙතනට පේන්නේ කොච්චර පොඩියට ද?"

"රුවන්වැලිසෑය විතරක් නෙමෙයි පුතා. අර සුදුපාට වැව් දිහාත් බලන්න. ඒ ඔක්කොමත් කළේ අපේ මිනිස්සු."

"අපේ මිනිස්සු?"

"ඔව් පුතා අපේ මිනිස්සු."


"ඇති තාත්තේ. අනේ එන්න තාත්තේ" යනුවෙන් බියපත් දුලාංජලී දියණිය පහල සිට කෑගසන්නට වුණා. එමනිසා ප්‍රේමදාස මහතා තම පුතු සමග යළිත් පහලට බැස්සා. එදා ඔවුන් එම ගමන ගොස් කොළඹට පැමිණි අවස්ථාවේ මේ සිදුවීම අලලා මේ ගීතය එතුමා අතින් රචනා වෙන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page