බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
- මාධව විජේසේකර
- May 31, 2017
- 1 min read



බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ උන්ගෙම හම බෙර හඳට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ දම් සක්වල ගල වැදී බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ
මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රජරට සේවයට දඬුවම් මාරුවක් ලැබ සේවය කරන කාලයේ රචනා කල ගීතයක්. එතුමා කොළඹ පැමිණීම සඳහා දුම්රියෙන් එනවිට රජරට ප්‍රදේශයේ ගවයන් මස් සඳහා කොළඹට ප්‍රවාහනය කරන්නේ ද දුම්රියෙන්. ඒ සඳහා පටි ගහපු වෙනම මැදිරියක් වෙන්කර තිබුණා. ඉතාම දුෂ්කර වේදනා සහගත ගමනක් අවසානයේ ගවයන්ට අත්වන ඉරණම ගැන වේදනාවක් එතුමාගේ හදවතේ ඇතිවූ නිසාම මේ ගීතය රචනා වෙනවා.
හැබැයි මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදී අප අතරින් වෙන්වූ කරුණාදාස සූරියආරච්චි මහතා දවසක් මේ ගිතය ගුවන්විදුලියෙන් අහලා, සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් අහලා තියෙනවා, "මේ ගීතය ප්‍රේමකීර්ති නේද ලියලා තියෙන්නේ. හරිම සංවේදී ගීතයක්. ඇත්තටම ප්‍රේම් හරක්මස් කන්නේ නැද්ද?" කියලා. ඔහු එහෙම ඇහුවේ සමන් මහතා, ප්‍රේමකීර්ති මහතාගේ ළබැඳි මිත්‍රයෙක් නිසා. ඇත්තෙන්ම අතාවුදහෙට්ටි මහතා ඒ ගැන දැන සිටියේ නැහැ. ඔහු කිව්වා, "මම ඒ ගැන දන්නේ නැහැ. හැබැයි මම ප්‍රේම්ගෙන් හම්බවුන දවසක අහලා කියන්නම්" කියා. පස්සේ දවසක ප්‍රේමකීර්ති මහතාව මුණ ගැසී මේ ප්‍රශ්නය සමන් මහතා ඇහුවාම එතුමාට ලැබුණ උත්තරය මේකයි.
"ඌට කියාපන් මම රන්දෝලි රෙස්ටුරන්ට් එකේ හොඳ දෙකක් දාලා, බීෆ් ඩෙවල් එකක් කන ගමන්, අත පිහින කොලයක මම ඔය සිංදුව ලිව්වේ කියලා".
Comments