top of page
Search

ආදරයේ උල්පත වූ අම්මා

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 2 min read

හඬ සහ තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ... ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී....

සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කළ අම්මා....

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ළබැඳී ගෙනදී දිවියට නව පණ ලැබදී මා දැඩි කළ අම්මා...

මේ ගීතය පිටුපස යම් අනුවේදනීය කතාවක් තිබෙනවා. ආචාර්ය වික්ටර් රත්නායකයන්ට තමන්ගේ සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් රචනා කරවා ගන්නට අවශ්‍ය වී තිබුණා. ඒ සඳහා ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගෙන් ගීතයක් ලියවා ගන්නට අවශ්‍ය ව තිබුණා වුණත් ඒ වෙනකොට ප්‍රේමකීර්ති මහතාගේ මෑණියන් ඇසේ ශල්‍යකර්මයකට රෝහල් ගත කරවා තිබුණා. මේ නිසා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සිටියේ එතරම් හොඳ මානසිකත්වයකින් නොවේ. ඒ නිසාම වික්‍ටර් රත්නායකයන්ටත් තම ඉල්ලීම කරන්නට නොහැකි තත්ත්වයක සිටියේ.


මේ අතරතුර දවසක් ප්‍රේමකීර්ති මහතා, "වික්ටර් අපි යමුද අම්මව බලලා එන්න? අම්මා ගොඩක් සතුටු වෙයි." "හා යමු" කියූ වික්ටර් රත්නායකයන්, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සමග තට්ටු දෙකේ බස් රථයක උඩු මහලක නැගි ඇස් වාට්ටුවට ගිහින් එතුමාගේ මව බලන්නට ගියා. අම්මාව දුටු විට කලින් තිබූ ශෝකාකූල බව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ හිතේ නැති බව දුටු රත්නායකයන් මේ හොඳ ම වෙලාව යැයි සිතා තම අවශ්‍යතාව පවසා සිටිනවා. ඒ අනුව තමා මේ ගීතය රචනා වුණේ.


ආචාර්ය රත්නායකයන් පවසා සිටින ආකාරයට මේ ගීතයේ අන්තරා කොටස් දෙකට ම වචන දිහා බැලුවාම එතුමාට අමුතුවෙන් තනුවක් අවශ්‍ය වුණේ නැහැ. දරු නැළවිල්ලක එන "දොයි දොයි දොයිය බබා" යන විරිතට අනුවම ලියා තිබුණ නිසා අපි අසා පුරුදු එම දරු නැළවිල්ලේ තාලයම එතුමා තම නිර්මාණයට ඇතුළත් කරගත්තා. එතුමාට තනුවක් හදන්න අවශ්‍ය වූයේ ස්ථායි සහ අනෙකුත් සංගීත ඛණ්ඩ සඳහා පමණි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page