සම්බුද්ධ සද්ධර්ම අනුහසින් - "ස" ප්‍රසංගයේ සමාරම්භක ස්තෝත්‍ර ගායනය
- මාධව විජේසේකර
- May 30, 2017
- 2 min read


සම්බුද්ධ සද්ධර්ම අනුහසින්....
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්.... කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්.... රසික ඔබ මිලනයෙන්.... ආනන්ද ජනක වූ.... මේ සොඳුරු රාත්‍රී යාමයේ.... සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා....!!!
මේ ගීතය ඔබට නිතරම මාධ්‍යවලින් ඇසෙනවා නැතුව ඇති. හැබැයි ඔබ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය නැරඹුවා නම් ප්‍රසංගය ආරම්භයේ දී එතුමා තම්පුරාව වයමින් මේ ගීතය ගයනවා අනිවාර්යයෙන් ම දැක ඇති, අසා ඇති. හැබැයි මෙය ඇත්තටම ගීතයක් නොවේ. ස්ත්‍රෝත්‍රයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ වැඩිම වාර ගණනක් පැවැත් වූ ඒක පුද්ගල ප්‍රසංගය ලෙස "ස" ප්‍රසංගය ඉතිහාස ගත වෙනවා. 1973-07-20 වන දා කොළඹ ලුම්බිණි රඟහලෙන් අරඹා, මෙරට පමණක් නොව ලොව පුරා රසික අමන්දානන්දයට ලක් කල මේ ප්‍රසංගයේ සමාප්තිය 2012-07-20 දා හරියට ම වසර 39ක් සපුරමින් 1450 වන දර්ශනය ලෙස කොළඹ ලුම්බිණි රඟහලෙන් ම අවසන් වූවා.
ඉතින් මේ තරම්ම අති සාර්ථක වූ මේ ප්‍රසංගයේ ආරම්භයේ දී ගයන ස්ත්‍රෝත්‍රය ඉතා විශාල කාර්ය භාර්යයක් කර තිබෙනවා. ගණ පිහිටවා මේ ස්ත්‍රෝත්‍රය රචනා කර තිබෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. සම්බුද්ධ සද්ධර්ම යන වචන දෙකම ආරම්භ කර ඇත්තේ ස නමැති දිව්‍ය ගණයට අයත් අක්ෂරයකින්. ඉතා වාසනාවන්ත අක්ෂරයකින් ම ආරම්භ කර ඇති නිසාම මේ ප්‍රසංගයට "ස" යන නම යෝජනා කර ඇත්තේ අප අතරින් නොබෝදා වියෝ වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී චින්තන ජයසේනයන් විසින්. ඒ පිළිබඳ ව එතුමා මෙසේ පවසා තිබෙනවා.
"73 දී විතර වික්ටර් දවසක් කිව්වා මම ෂෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකට නමක් දාමුද කියලා. මමයි, ආර්.ආර්. සමරකෝනුයි තවත් කීපදෙනෙකුටයි නම දාන එක වික්ටර් භාර දුන්නා. අපි ඉතිං හවස් වරුවල වික්ටර්ගෙ මහරගම ගෙදර ගිහින් නම ගැන සාකච්ඡා කරනවා. ගිය හැම දවසකම ගල් බෝතල් දෙකක් විතර ඉවර කරනවා. ගල් එකක් එ් සවස්වල රු.12යි. හවස කතාව පටන් ගත්තම අපි සමහරදාට එන්නේ උදේ. දවස් ගාණක් ඔහොම ගතවුණා. එ්ත් නමක් නෑ. අන්තිමට මට ඔය ‘ස’ කියන අකුර ඔළුවට ඇවිත් වික්ටර්ට කිව්වා. වික්ටර්ටත් වඩා එයාගෙ නෝනා ‘ස’ නමට කැමති වුණා. සමහරු ඇහුවා තනි අකුරෙන් පෝස්ටර් ගහන්න පුළුවන්ද වගේ වැඩකට නැති ප‍්‍රශ්න. අන්තිමට ලූම්බිණියෙ ‘ස’ පටන් ගත්තු දවසේ දොරවල් කඩාගෙන සෙනග ආවේ."
එදා දොරවල් කඩාගෙන පැමිණි පිරිස මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද කරන්නට මේ ස්ත්‍රෝත්‍රයට හැකිවුණා. වාසනාවන්ත ආරම්භයක් සහ දීර්ඝ ගමනක් සනිටුහන් කරන්නට ඒ තරම්ම මේ ස්ත්‍රෝත්‍රය බලගතු එකක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ කියා මා සිතනවා.
Comments