top of page
Search

මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී

  • මාධව විජේසේකර
  • May 29, 2017
  • 3 min read

තනුව සහ හඬ : ආචාර්ය වික්ටර් රත්නායක

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී

දේදුන්නක් උඩු අතට නවා බිඳ මල් උයනක මල් අවුල් කර දමා ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට ආවෙමි වියරු වැටී..............

ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත ඔබ හිනැහෙන හඬ මට ඇසුනේ නැත ඔබ නිහඬව සිටිනා හඬ පමණක් සවන් යොමා සිටි මට ඇසුණා ඔබේ නිහඬ බව මා සිත කළඹයි...

හිනැහෙනු මැන හසරැලි අතුරා වත හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත ඔබ නිහඬව සිටිනා විට මගෙ සිත මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත ඔබේ නිහඬ බව මා සිත කළඹයි..........

මගේ ගීයක වගතුග බ්ලොග් අඩවියේ ජයග්‍රාහී 150 වන ලිපියයි මේ. ඒ සඳහා ලියන්න මම විශේෂ ගීතයක් තෝරාගත්තා. මේ ගීතය ගයන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. ඉතින් මොකද්ද මේ ගීතයේ විශේෂත්වය?


එකල ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට තහංචි රැසක් පැනවී තිබුණා. ආචීර්ණ මතධාරී පිරිසක් මෙයට මුල් වී තිබුණා. බටහිර යැයි හංවඩු ගැසුණු කිසිම සංගීත භාණ්ඩයක් ගුවන්විදුලියේ පටිගත කිරීම් වලට රැගෙන ඒම සපුරා තහනම් වුණා. වික්ටර් රත්නායකයන් ගුවන්විදුලියේ පටිගත කිරීම් වෙනුවෙන් පැමිණියේ මෙවන් වටපිටාවකදීය.


එහෙත් එතුමා මෙහිදී ගීතයේ නිම්වළලු පුළුල් කිරීමට ඉමහත් සේ දායක වුණා. සිය ප්‍රථම සරල ගීත වැඩසටහ නිෂ්පාදනය වුණ කාල වකවානුව තුළ ගුවන්විදුලියේ තිබූ උක්ත නැඹුරු තාවයන්ගේ සීමා මායිම් සුණුවිසුනු කර දමමින් බටහිර සම්භාව්‍ය සංගීතයෙහි එන ස්වර සංවාදන (HARMONY), ප්‍රතිසංවාදන (COUNTER POINTS) හා සමූහ වාදන (ORCHESTRIAL MUSIC) යන සංගීත රීතීන් හා ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් සිය ප්‍රථම සරල ගීත තුන (සිඳැ බිඳැ මොහඳුරු පාප ක්‍රියා, ඈත පෙනෙනා හිමව් කඳු මත, ගොළු මුහුදේ මුතු ඇටේ) නිර්මාණය කලා. මෙය ශ්‍රී ලාංකික සංගීතඥයකු විසින් එකී ශිල්ප ක්‍රම යොදාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන අතර, ඒ හරහා සිංහල සරල ගීතය නව තැනකට ඔසවා තැබීමට රත්නායකයන් සමත්වුණා.


සිංහල ගීතයේ හැඩතල වෙනස් කරමින්, ගුවන්විදුලියේ එතෙක් තහනම් භාණ්ඩ හැටියට හංවඩු ගසා තිබූ DRUMS, ඕබෝ, බැසූන්, සැක්සෆෝන්, චෙලෝ, ක්ලැරිනට්, ට්‍රම්පට්, ඩබල් බේස්, කොන්ගෝ වැනි බටහිරට ලියා දී තිබූ සංගීත භාණ්ඩ රැසක් ගුවන්විදුලියට කැඳවාගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ වික්ටර් රත්නායකයන්.


මෙසේ තහනම් සංගීත භාණ්ඩ පෙරහැරක් ගුවන්විදුලියට වැඩමවූ දිනයක පටිගත කිරීම් ශිල්පියා හැටියට කටයුතු කළේ නැසීගිය ශිල්පී විශාරද ගුණදාස කපුගේය. ඒ වන විට එකඳු ගීතයක්වත් ගයා නොතිබූ කපුගේ ශූරීන් එදා දවසේ ඒ රාජකාරියට යොදවා තිබුණේ නිත්‍ය පටිගත කිරීම් ශිල්පියා හැටියට හිටි යූ. ආරියවිමල් මහතා රෝහල්ගතව සිටි නිසායි. ඒ සිදුවීම කපුගේ ශූරීන් පවසා ඇත්තේ මෙසේය.


“ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකන් බලන් හිටියා. එතකොට මං එකම ගීතයක් වත් ගයා තිබුණේ නැහැ. මම පටිගතකිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා. ඔන්න වික්ටර් ආවා....එකායි, දෙකායි, තුනායි, හතරායි...අන්තිමේදී වික්ටර් සමඟ පස්වෙනි මැදිරියට ඇතුළුවුනු වාද්‍යවෘන්දය විසි දෙදෙනෙක්. මට භාගෙට පිස්සු හැදුණා...එවන් ශිල්පීන් පිරිසක් සමඟ මයික්‍රොෆෝන් හතරක් තියාගෙන මම මොනවා කරන්නද? ඒ කාලේ ගුවන්විදුලියේ හිටියා රංජිත් එදිරිසිංහ (ප්‍රවීණ රූපවාහිනී නිවේදිකා අශෝකා වනමලී මහත්මියගේ සැමියා) කියලා ශබ්ද ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ පිහිට පැතුවා මේ අකරතැබ්බයෙන් මා ගලවා ගන්න කියා. රංජිත් වහාම අසළ තිබූ මැදිරි වලින් තවත් මයික්‍රෆෝන් හත අටක් යොදාගෙන වෙනත් මැදිරියක තිබූ අමතර මික්සින් යන්ත්‍රයක් එයට ඈඳා විශාල පටිගත කිරීම් ශබ්දාගාරයක් නිර්මාණය කළා ඒ මොහොතේම. දන්නවද එදා පටිගත කළ සින්දුව මොකද්ද කියලා... “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී”...ඒ තරම් චකිතයකින් ටෙන්ෂන් එකකින් මං කවදාවත් රේකොඩින් එකක් කරලා නෑ. ඒ වුනාට අපි එදා පුදුම වින්දනයක් ලැබුවා ඒ රේකොඩින් එකෙන්.....”


වික්ටර් රත්නායකයන් බටහිර සම්භාව්‍ය සංගීතය වෙතම නැඹුරුවූ සංගීතඥයකු නොවන බව ඔහු සිය සරල ගීත වැඩසටහන් සඳහා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන, එමෙන්ම ගී තනුව (vocal melody) සඳහා භාවිතා කරන මීන්ඩ් (MEEND), ගමක්, කන් හා ආන්දෝලන් යන ශිල්ප ක්‍රමද සිය වාද්‍ය වෘන්දය සඳහා GAZETH, ජම් ජමාම් (ZAM ZAMAM), ක්‍රින්තන් යන ශිල්ප ක්‍රමයන්ද යොදාගැනීමෙන් පේනවා.


ඉහතින් ගුණදාස කපුගේ මහතාණන් සඳහන් කළ “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී“ නම් ගීතය පටිගත කිරීමේදී , එහි පැමිණි වාද්‍ය වෘන්දය වෙත ඉඩ සැලසීමට සිදුවූ නිසා ශබ්දාගාර දෙකක් මැද වූ වෙන් කිරීම (PARTITION) ඉවත්කොට එක් ශබ්දාගාරයක් නිර්මාණය කිරීම ගුවන්විදුලි ඉතිහාසයේ පළමු හා එකම සිදුවීමයි. මෙසේ වැඩිම වාද්‍ය වෘන්දයක් යොදා ගීතයක් පටිගතකළ පළමුවැන්නා වීමේ භාග්‍යය වික්ටර් රත්නායකයන් හිමිකර ගත්තා.


මේ ගීතයේ තවත් විශේෂත්වයක් නම්, තනුවෙන් නිරූපණය වෙන්නේ වියරු වැටුණු මල්සරෙකුගේ හැසිරීම හැබැයි ගායනයෙන් නිරූපණය වෙන්නේ සංවේගයට පත්වූ පෙම්වතෙකුගේ හඬයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page