top of page
Search

පුං‍චි පන්තිවල

  • මාධව විජේසේකර
  • May 20, 2017
  • 2 min read

හඬ : ටී. එම්. ජයරත්න

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ටියුලින් ජයරත්න

පුංචි පන්තිවල හැබෑම හුරතල්

කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසැල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ...//

මව්වරු ඇති නැති පියවරු දැක නැති දරුවන් කොතරම් මෙහි ඇතිදෝ උන්ගේ සිත් වල මොනවගෙ දේවල් මොන විදිහට සිර වී ඇතිදෝ

පුංචි පන්තිවල...

වැඩිහිටියන්ගේ නොමනාකම් වල දුක උහුලන්නේ පොඩි දරුවෝ උන්ගේ නාමෙන් එකමුතු වී යන දෙපිල බෙදී ඇති දෙමව්පියෝ

පුංචි පන්තිවල...//

ටී. එම්. ජයරත්නයන්ට සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් මදිවෙලා ලියවා ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ඒ බව කියලා ගීතයක් රචනා කර දෙන්න කියා ඉල්ලා තිබුණා. සරල ගී වැඩසටහන දිනයේ දී උදෑසන ටී. එම්. ජයරත්නයන්, 8:30 ට ගුවන් විදුලියේ ප්‍රධාන දොරටුව ළඟට වෙලා ප්‍රේමකීර්ති මහතා එනතුරු බලාගෙන ඉන්නවා. වැඩසටහන උදේ 9ට තියෙන්නේ.


උදේ 8:40ට පමණ ප්‍රේමකීර්ති මහතා පැමිණියා. "ප්‍රේම්! දැන් ගීතය හරිනේද?" කියා ජයරත්නයන් ඇසුවාම. "හරි හරි ඔක්කෝම හරි" කියා කරට අත දමාගෙන කතා කර කර ඔහුව කැටුව ඇතුළට යනවා. ගීතය දෙන පාටක් නම් නෑ. පැමිණි වෙලාව දමා පොත අත්සන් කර ප්‍රේමකීර්ති මහතා සේවයට වාර්තා කරනවා. ඉන්පසු ටී. එම්. ජයරත්නයන් සමග ගුවන්විදුලි සංස්ථාවේ යතුරුලියන අංශයට ගොස්, එක් යතුරුලියනයකට කඩදාසියක් දමා වාඩිවුණා. "කෝ ඉතිං සින්දුව දෙන්න" කියා ජයරත්නයන් ඉල්ලූවිට, "මේ ලියන්න තමා යන්නේ." කියා ප්‍රේමකීර්ති මහතා යතුරුලියනයේ අකුරු හොයමින් ගීතයේ මුල් පේලිය ටයිප් කලා. ටිකක් වෙලා කල්පනා කර දෙවෙනි පේලියත් ටයිප් කලා. ඔහොම ගිහින් ගීතය සම්පූර්ණ කලා. හැබැයි දෙවනි අන්තරා කොටසේ "වැඩිහිටියන්ගේ නොමනාකම් වල" කියන වචනයට නම් ජයරත්නයන් කැමති වුණේ නෑ. ඒත් ඒ බව කියන්න ගියේ නෑ.


ඉතින් ගීතයක් ලිව්වාට පස්සේ, වචන අනුමත කලයුතුයි. ඒකට එදා දවසේ හිටියේ ගුවන්විදුලියේ සංගීත භාණ්ඩයක් වාදනය කරපු කෙනෙක් ඒ තනතුරට දාපු කෙනෙක්. එයා බොහොම ගාම්භීර විදියට මහ ඉහළින් වචන දිහා බලා අර අවසානයට තිබුණ "වැඩිහිටියන්ගේ නොමනාකම් වල" නම් වචන වලට අනුමැතිය දෙන්න බැහැ කියලා නොමනා කියන වචනය කපන්න ලෑස්තිවුණා. "හෝව්! හෝව්!! කපන්න එපා" කියලා අවසානයේ දී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා එක්ක එනවා.


"දැන් මොකද්ද ප්‍රශ්නේ?" ප්‍රේමකීර්ති අහනවා. "මේ බලන්න මේ නොමනා කියලා වචනයක් දාලා තියෙනවා. මේක හරි නෑනේ." ඔහු කියනවා. "හොඳයි මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මට කියන්න නොමනා කියන එකේ තේරුම මොකද්ද කියලා?" "මම දන්නේ නෑ ඒක. මේකට වෙන වචනයක් දාන්න". "නෑ නෑ ඒ වචනයමයි මම දාන්නේ. ඔයාට මේක ගැලපෙන්නේ නැත්තන් ඔයා මේ වචනයේ හරි තේරුම මට කියන්න. එතකොට මම වෙනස් කරන්නම්." "ඔයාලත් මොන කෙහෙල්මලක් ලියනවා. ඊට පස්සේ අපිව අමාරුවෙ වැටෙනවා. ඊට පස්සේ අපේ රස්සාවත් ගහලා යනවා." "එහෙනම් මෙන්න දැනගන්න තේරුම. මනා නොවන්නේ යමක් ද එය නොමනා වේ. හරි නේ දැන් අත්සන් කරන්න" කියා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අදාල පුද්ගලයාගේ අත අල්ලා අත්සන් කරන තැනට ගෙන්වා අත්සන් "කරවා" දුන්නා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page