මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
- මාධව විජේසේකර
- May 20, 2017
- 2 min read



මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන
පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික... දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
ඔන්න දවසක් රත්න ශ්‍රී මහත්මයාට මිතුරෝ කිහිපදෙනෙක් එක්ක රාජකාරී කටයුත්තකට දඹුල්ල පැත්තේ යන්න සිද්ධවෙනවා. මේ යන අතරතුර කට්ටියට පුංචි තිබහකුත්, තෙහෙට්ටුවකුත් දැනුන නිසා පාරේ අයිනේ තිබුන පුංචි ගෙදරකට ගොඩවැදිලා කට්ටියගේ තිබහ සංසිඳුවගන්නට වතුර ටිකක් බොන්න හිතනවා. ඉතිං එහෙම ගිය ගෙදර ඉඳලා තියෙන්නේ ටිකක් වයසක පුද්ගලයෙක්.
රත්න ශ්‍රී මහත්මයා ඔහුගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන බොන අතරෙම මේ ගෙදර වටපිටාව දිහාත් ටිකක් බලනවා. මිදුලේ එක කෙලවරක තියෙන ගහක් යට හොඳ ලස්සනට හදපු මල් පහන් එහෙම තිබුනලු. ඒ ටික වටපිටාව බලන ඕනම කෙනෙකුට පැහැදිලිව කැපිලා පේනවාලු. රත්න ශ්‍රී මහත්මයා මේ වයසක පුද්ගලයාගෙන් ඇහුවලු ඒ ගහ යට විශේෂයෙන්ම මල් වවන්න හේතුව. "එතන තමයි මහත්තයෝ මගේ සුදු බණ්ඩි නිදාගෙන ඉන්නේ" වයසක පුද්ගලයා රත්න ශ්‍රී විජේසිංහයන්ට කියනවා. වැඩි විස්තර අහනකොට එතුමාට දැනගන්නවා සුදු බණ්ඩි කියන්නේ ඊට වසර ගණනකට පෙර මිය ගිය ඒ වයසක පුද්ගලයාගේ බිරිඳ බව. ඈ මියගිය පසු භූමදානය කර තිබෙන්නේ මම කලින් කියපු ගහ යට. මේ වයසක පුද්ගලයා හැමදාම උදේ හවස ඇගේ සොහොන් කොත ළඟ පහනක් පත්තු කරන එකත් සිරිතක් කරගෙන හිටියලු.
මේ විස්තර ටික කියලා ඉවරවෙනවත් එක්කම මේ වයසක පුද්ගලයාගේ මුහුන අඳුරු වෙලා ගිහින් මෙහෙම කිව්වලු. "මට තව වැඩි කාලයක් සුදු බණ්ඩි ළඟ මල් පහන් තියන්න වෙන්නැතිවෙයි මහත්තයෝ. එහා ඉඩමෙයි, මයෙ ඉඩමෙයි මායිම වැටෙන්නේ ඔන්න ඔය ගහ ළඟින්. එහා ඉඩමේ අයිතිකාරයා අළුතෙන් ඉඩම මැනලා වැට ගහන්නයි යන්නේ. මයෙ සුදුබණ්ඩි නිදාගෙන ඉන්න මේ කොටස එතකොට අයිතිවෙන්නේ එහා ඉහමට. එතකොට මහත්තයෝ මම කොහොමද හැමදාම මගේ සුදුබණ්ඩිට මල් පහන් තියන්නේ?" මෙන්න මේ කථාව ඇසුරෙන්ලු රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මිනින්දොරු කන්තෝරුව ගීතය ලියවුනේ.
Comentários