සිංහල සින්දු කියන
- මාධව විජේසේකර
- May 19, 2017
- 3 min read


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී
ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී
මේ ගීතය සියයට සියයක් සත්‍ය සිදුවීමක් ඇසුර්න් ලියවුණු ගීතයක්. ගුණදාස කපුගේ මහත්තයා ඒ කාලේ තිබුනු මාසික සඟරාවක කියව කියවා ඉන්නකොට සගරාවේ තියෙන එක්තරා ලිපියකට එතුමට හිත යනවා. ලිපිය කියවලා ඉවර වුණ ගමන්ම එතුමා රත්න ශ්‍රී විජේසිංහ මහතාට දුරකථන ඇමතුමක් අරන් කියනවා කොහොම හරි මේ සඟරාව අරන් ලිපිය කියවන්න කියලා. කපුගේ මහත්තයාට ඕන කරනවා ලිපියේ තියෙන දේ ගැන ගීතයක් හදන්න ඒකයි තමන්ගේ මිතුරා රත්න ශ්‍රී විජේසිංහ මහත්තයාට ඒ වෙලේම කතා කරන්නේ. 1992 වසරේ රෑ 7ට විතර තමයි මේ විදිහට දුරකථන ඇමතුම ගන්නේ. කපුගේ මහතාට මෙච්චර හිතගිය ඒ කතාව මොකද්ද?
ඇය කඹුරුපිටියේ කාන්තාවක්. නම විනීතා සමරසිංහ ගුණසේකර. ඇය පොලිස් සේවයට බැඳෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් විදිහටයි. ඇය මිරිහානේ සහ කිරුලපන පොලිස් ස්ථාන දෙකේම සේවය කරනවා. කිරුලපන පොලිස් ස්ථානයේදි හම්බවෙනවා උතුරු ප්‍රදේශයේ ඉදලා ආපු පොලිස් නිලධාරියෙක්. එයාගේ නම තමයි එස්. නඩේෂන්. මේ දෙන්නා අතර ටික කාලයක් යනකොට පෙම් සම්බන්ධයක් පටන් ගන්නවා.
එතකොට යුද්ධය පටන් අරගෙන. යුද්ධය පටන්ගත්ත කාලෙක මේ වගේ සම්බන්ධයකට පවුලේ අය අකමැති වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ. ඒ විදිහට පවුල් දෙකෙන්ම අකමැති උනත් දෙන්නා විවාහ වෙනවා, 83 කැරැල්ල පටන් අරන් ටික කාලෙකින් නඩේෂන් පොලිස් සේවයෙන් ඉවත් වෙලා තමන්ගේ මේ සිංහල බිරිඳ එක්ක තමන්ගේ මවු ගමට ඒ කියන්නේ උතුරුකරට යනවා. දරුවන් පවා ලබන මේ දෙන්නෙ පසු කාලයක කොටි සංවිධානයේ ඉහල නිලධාරීන් දෙදෙනෙක් වෙනවා. මේ සිංහල කාන්තාව කාන්තා කොටි කණ්ඩායමක නායිකාව වෙනවලු. කොහොම උනත් අවසන් සටනේදී මේ දෙන්නම පුදුකුඩුඉරිප්පුවේදී මැරුණා කියලා තමයි කියන්නේ.
දැන් ගීතය ගැන ගැන ටිකක් බලමු.
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී
ඇය කියන්නේ සිංහල සිංදු, මොකද ඇය දෙමළ දන්නේ නෑ. ඒ උනාට මේ සිංහල කාන්තාව නලලේ තිලක තියනවා. නමුත් මේ සිංහල කාන්තාව ජාතිවාදයෙන් ගිනිගන්න තල් අරඹට ඒ කියන්නේ උතුරුකරයට ආවලු.
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී
මේ තරුණයා දන්නේ දෙමළ විතරයි. තරුණිය දන්නේ සිංහල විතරයි. ඉතින් මේ දෙන්නට දෙන්නාම කියපු පෙම් කතා හරිහැටි තේරුනේ නෑ. නමුත් ආදරය නිසා ඇය ඔහුට වශී වෙනවාලු. වෙන මනාලියන්ට මංගල දිනයට ලැබෙන්නේ ලස්සන මල්වලින් හදපු මල් පොකුරක්, නමුත් ඇයට ලැබෙන්නේ ගිනි මලින් හදපු මල් පොකුරක්. මනාලියකගේ මධුසමය හරිම සුන්දරයි, නමුත් ඇගේ මදුසමය මහා කටු ගොඩක්. නමුත් ඒ කටු අතරින් මේ මල ලස්සනට හිනහුණා.
ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී
ගිනි අවිය නිසා මේ යුද්ධය නිසා මිනිස්සු පීඩා විදිනවා, ඒ උතුරුකරයේ ඉන්න මිනිස්සුන්ගේ අඩන කඳුළු ඔයාට සිංහලයට හරවන්න පුලුවන්. මේ ආදරය උඹට අයිති දෙයක්, අමාරුවෙන් ලබාගත්ත දෙයක්. ඒ ආදරය ඔබට බාරයි එය සදා රැකගන්න.
ගීතයේ අරුත එහෙම ඉවර කරන කොට තවත් ගීතයට සම්බන්න රසවත් කතා කිහිපයක් කියන්නම්.
1,සාම කාලයේදී පත්තර වාර්තා කරුවෙක් නඩේෂන් හම්බවෙලෙ කීවලු ඔයාලා ගැන ගීතයක් ලියවිලා තියෙනවා ඒක දකුණේ හරිම ප්‍රසිද්ධයි කියලා, ඉතින් නඩේෂන් මේ වාර්තා කරුවාව පොරොන්දු කරගෙන තියෙනවා මේ ගීතය ඇතුලත් කපුගේ මහත්තයාගේ ගීත තැටිය ගෙන්නගන්න. කොහොම හරි ඒ දවසට පහුවදාම මේ ගීත තැටිය ඔහුට ලැබුනාලු. එයා කියලා තියෙනවා ඒ ගීතය පුංචි දුවට කටපාඩම් කියලා.
2, දවසක් ගීතය ලියපු රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා ගිහින් තියෙනවා දේශනාවක් කරන්න කබුරුපිටිය පැත්තේ පාසලකට දේශනාව කරන අතරේ මේ ගීතය හැදුනු හැටි හැන මෙයා විස්තර කරනකොට කාන්තාවක් කලබලයෙන් එලියට ගිහින් කෙල ගැහුවලු. ලග හිටපු කෙනෙක්ගෙන් අහපුවාම කීවලු ඒ විනිතාගේ නංගි කියලා, රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා එක්තරා දේශනයකදී කියනවා, මේ දෙන්නා විවාහ උනාට පස්සේ මේ විනීතාගේ පවුලේ අය ඇය මැරුණා කියලා හිතාගෙන ඒ කාලේ දානෙකුත් දුන්නාලු කියලා.
මේ ගීතය, කපුගේ මහත්මයාගේ "ඉරබටු තරුව" සීඩි තැටියේ ගීතයක්.
Comments