top of page
Search

බිම්බරක් සෙනග

  • මාධව විජේසේකර
  • May 17, 2017
  • 2 min read

හඬ සහ තනුව : විශාරද ගුණදාස කපුගේ

පද : රත්න ශ්‍රී විජේසිංහ

බිම්බරක් සෙනග ගැවසුණු

චන්ද්‍ර සූර්යයා ඉපදුණු

ස්වර්ණ භූමියේ මනරම්

මාළිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන්

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වට කළේ මනරම්

මාළිගාව කෝ //

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්

කුංචනාදයෙන් ඇළලුණ

වෘක්ෂ දේවතාවුන්

බිම වැටී පණ ගසයි

මිනී මල් පිපුණු සීතල

නිම්න භූමියේ ඇටකටු

සතර රියන් කඩ අහිමිව

විලාපය නඟයි //

බිම්බරක් සෙනග...

කැලෑ මල් පිපී රතු තොල්වලින්

කෑ ගසා ඉල්ලන

ජාතියේ නිධානය

රන් රුවන් කරඩු කොයි..

වෑකන්ද කඩා බිම් කටු

කම්බියෙන් බෙදා මේ රණ

බිමේ හිස ගසා දමනා

කඩුව බිම දමවු //

බිම්බරක් සෙනග...

මේ ගීතය, රචනා කල රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල රාජකීය විද්‍යාලයේ සේවය කරන කාලයේ දී ලැබූ අත්දැකීමක් ඇසුරින් ලියවූවක්. එතුමාට මොණරාගල රාජකීය විද්‍යාලයට යන්න තිබුණේ එතුමාගේ නවාතැනේ සිට මොණරාගල කච්චේරි පරිශ්‍රය හරහායි.


1982 කාලයේ දවසක් එතුමා එහෙම යනකොට කච්චේරි පරිශ්‍රය ඉදිරියේ විශාල පිරිසක් සටන් පාඨ පුවරු අරගෙන උද්ඝෝෂණයක නිරතවෙනවා. හේතුව බැලින්නම් එවකට පැවති රජය ඒ අයගේ මුතුන් මිත්තන්ගේ ඇටකටු තිබෙන අක්කර 35000ක ඉඩම් බහු ජාතික සමාගම්වලට විකුණන්නට සූදානම් වුණා උක් වගා කිරීමට. ඌව වෙල්ලස්ස කැරැල්ලට මුහුණ දී ඉංග්‍රීසින්ට දිවි පිදූ තමන්ගේ මුතුන් මිත්තන්ගේ ඇටකටු වැළලී තිබෙන එක බිම් අඟලක්වත් විකුණන්න එපා කියලා තමයි ඒ අය කෑගහන්නේ.


මේ නිසා ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන අපිට පොඩ්ඩක් ආවර්ජනය කරන්න වෙනවා. 1818 දී ඉංග්‍රීසි අධිරාජ්‍යයට විරුද්ධව ආරම්භ කල ජන අරගලය තමා ඌව වෙල්ලස්ස කැරැල්ල කියලා කියන්නේ. කැප්පෙටිපොළ නිලමේ, කොහුකුඹුරේ රටේ රාළ, බූටෑවේ රටේ රාළ ආදී වීරයෝ තමා මේකට මුල්වෙන්නේ. ඉතින්, එවකට හිටපු ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ආඥාවක් නිකුත්කරනවා අවුරුදු 15ට වැඩි කිසිම පිරිමියෙක් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉතුරු කරන්න එපා කියා. මහා දැවැන්ත ජනසංහාරයක් මේ නිසා සිද්ධවුණා. 30000 ක ජීවිත නැතිවුණා. ඒ කාලයේ අපේ රටේ ජනගහනය මිලියන 4ක්. මිලියන 4න් 30000ක් කියන්නේ ලොකු ගාණක්. මේ 30000ක මිනී ඇට කටු තියෙන බිම් තමයි විකුණන්න එපා කියලා ඒ පරම්පරාවල දරු මුණුබුරෝ අරගලයක මේ යෙදෙන්නේ.


මේක දකින රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි සිත අවදි වෙනවා. එතුමාට මතක් වෙන්නේ, සබරගමු මහ සමන් දේවාලේ ගැන තිබෙන ජනකවියක්.


කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගා ව රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබා ව දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගා ව ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගා ව


හෙල මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබා ව බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගා ව මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගා ව


මේ වචන ටික හිතේ මැවුණාට එතුමා ගීතය ලියන්නේ, හටන් කවි ආශ්‍රයෙන්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page