top of page
Search

යමු සෙල්ල කතරගම්

  • මාධව විජේසේකර
  • May 14, 2017
  • 2 min read

හඬ : කරුණාරත්න දිවුල්ගනේ

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : විශාරද ගුණදාස කපුගේ

යමු සෙල්ල කතරගම්

ඔබ එන්න යනව නම්

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් //

ආනන්ද සරෝජා රාමන් අනුරාධා //

නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි

හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යෙයි

යමු සෙල්ල කතරගම්...

මේ සාධුකාරයයි සංගීත සාදයයි //

හාද වෙලා සාද විඳින එකම වෙලාවයි

පාද සළඹ දෑත වළලු එකට හිනාවෙයි

යමු සෙල්ල කතරගම්...

මේ ගීතය සෙල්ලකතරගම ගැන. සෙල්ලකතරගම කියන්නේ, කතරගම දෙවි‍යෝ එහෙම නැත්තන්, ස්කන්ධ දෙවියෝ ඉන්දියාවේ හිටපු තමන්ගේ බිරිඳවන තේවානි අම්මා අතහැර දමා එනවා ලංකාවට. වල්ලි අම්මා නම් වැදි කාන්තාව ඔහුට මුණ ගැහෙනවා මේ ප්‍රදේශයේ දී. ඇය සෙල්ලම් කරපු ප්‍රදේශය තමා අද සෙල්ලකතරගම වෙලා තියෙන්නේ.


අද සෙල්ලකතරගම ගණ දේවාලයට ගියොත් රථගාලට එහා පැත්තෙන් තියෙනවා වල්ලිගුහා පන්සලට යන පාරක්. ඒ පාර දිගේ ගියාම වල්ලිගුහා විහාරස්ථානයට අපි පිවිසෙන්නේ. ඒ ස්ථානය පිහිටලා තියෙන්නේ ගල්තලාවක් මත. ඒ ගල්තලාව ඉස්සර කාලේ, විශාල විලක් මැද පිහිටි දූපතක් ලෙසයි පිහිටලා තිබුණේ. ඒ කියන්නේ, අද සෙල්ලකතරගම රථගාල සහ සාප්පු සංකීර්ණය තියෙන ප්‍රදේශය එදා විලට යටවෙලා තිබුණ ප්‍රදේශයක්. ඉතින්, මේ විහාරය පිහිටි ගල්තලාව දූපතක් ලෙස තිබුණ නිසා වල්ලි අම්මා තමන්ගේ කුඩා කාලයේ දී මේ දූපතේ සෙල්ලම් කලා කියලා ජනප්‍රවාද තියෙනවා. සෙල්ලම් කල දූව - සෙල්ලම්දූව කියලා නම හැදුණා.


දැන් බලමු කතරගම නම හැදුණේ කොහොමද කියලා. කතරගමට ඉස්සර කිව්වේ, කාචරගාම කියලා. කාචර කියන වචනය ඇවිත් තියෙන්නේ, කාචාරි කියන වචනයෙන්. කාචාරි කියන්නේ, දුන්නට. මම ඉස්සෙල්ලා කිව්වානේ වල්ලි අම්මා වැදි කාන්තාවක් කියලා. ඉතින් වැදි ජනයා අතේ නිතරම තිබුණ භාණ්ඩයක් තමයි දුන්න. ඒ දුන්න අරගෙන ඒ අය කරේ තියාගෙන යම් නර්තනයක් ඉදිරිපත් කරලා ඔවුන්ගේ යම් වනයට අධිපති දෙවියෙක් හෝ යක්ෂයෙක් සඳහා පූජා පවත්වලා තියෙනවා. අද කාවඩි නර්තනය ඇවිත් තියෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් මත. කාවඩි කියන වචනය හැදිලා තියෙන්නෙත් කාචාරි කියන වචනයෙන්මයි. කාචාරි කියලා කියන්නේ දුන්න අතට අරගත් මිනිස්සුනට. එතකොට දුන්න අතට ගත් මිනිස්සු ජීවත් වුණ ගම, කාචාරිග්‍රාම වුණා. කාචාරිග්‍රාම, කතරගම වුණා.


එතකොට මේ කාරණා දෙක බැලුවාම සෙල්ලම් කරපු, කාචාරියන් සිටි ගම සෙල්ලකතරගම වෙලා තියෙනවා. මේ සෙල්ලකතරගම දී ස්කන්ධ කුමාරයා වල්ලි අම්මා තරුණිය හොරෙන් මුණ ගැසීමට ගිය බවත් ඒ ගිය ගමනේ දී ආලෝකය නිවාගෙන අඳුරේ ගිය බවත් ජනප්‍රවාදයේ සඳහන්. මේ නිසාම අදටත් සෙල්ලකතරගම පෙරහැර යන්නේ පන්දම් එලි නිවාගෙන. අවසානයේ දී ස්කන්ධ කුමාරයාත් වල්ලි අම්මාත් විවාහ වී ඇත්තේ වල්ලිගුහා විහාර භූමියේ ඇති ස්ථානයකයි. අද ඒ ස්ථානයේ විශාල රුක්ෂයක් තිබෙනවා.


මේ ගීතය අරන් බැලුවොත්, රත්න ශ්‍රී විජේසිංහයන් මෙතනට යොදාගෙන තියෙන සංකල්පය ඉතාම වටින දෙයක්. සිංහල, දෙමළ. මුස්ලිම් ආදී සෑම ජනවර්ගයක සහ ආගමක බැතිමතුන් මෙතනට එනවා. ඒ අය කවුරුත් ඇවිල්ලා ස්නානය කරන්නේ මැණික් ගඟෙන්. එහෙම වුණා කියලා මැණික් ගඟ ජාතීන්ට ආගම්වලට බෙදිලා වෙනම ගලන්නේ නෑ. කාටත් පොදුවේ එකට ගලාබහින්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ.


ඒ වගේම කතරගම දේවාලයත් කිරිවෙහෙරත් එක ළඟ පිහිටා තියෙන්නේ. කිරිවෙහෙර බෞද්ධයාගේ තැනක්. ලෝකෝත්තර තැන එතැන. කතරගම මහා දේවාලය ලෞකිකත්වයේ තැන. මේ දෙකම තිබෙන එකම තැන කතරගම. කිරිවෙහෙරින් සාධුකාරයත්, මහා දේවාලයෙන් කාවඩි නටන සංගීතයත් අපිට ඇහෙනවා. ඉතින් කතරගම කියන්නේ ජනවාර්ගික සහෝදරත්වය මොනවට කියාපාන තැනක්. ඒ සංහිඳියාව ගැන තමයි මේ ගීතයෙන් කියන්නේ.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page