top of page
Search

ශාන්තිනී තෙමා වැටේ

  • මාධව විජේසේකර
  • May 13, 2017
  • 3 min read

හඬ : කරුණාරත්න දිවුල්ගනේ

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : විශාරද ගුණදාස කපුගේ

ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්...... සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

මේ ගීතය රචනා කරන්නට මුල පුරන්නට සිදු වූ කතාව මේකයි. ගාල්ල ප්‍රදේශයේ උසස් ජනප්‍රිය පිරිමි විද්‍යාලයක උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගත් සිසුවෙක් සිටියා. ඔහු තමන්ගේ ලිඛිත විභාග පරීක්ෂණවලට මුහුණ දීලා ඉන් සමත් වූ නිසාම ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ දෙන්නට ලෑස්තිවෙලා හිටියේ. ඒ කාලයේ උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය පැවැත්වූ පසු ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මාස තුනක නිවාඩු කාලයක් සිසුන්ට ලැබෙනවා. ඉතින් මේ සිසුවා ඒ නිවාඩු කාලයේ දී මන්නාරමේ තමන්ගේ ඥාතිවරයෙක් ළඟට යනවා. ගිහින් නිකන් ඉන්නේ නෑ. ඉංග්‍රිසි පන්තියකට ඇතුළත් වී ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.


යුද බියක් එදා තිබුණේ නැති මන්නාරමේ, සිංහල දෙමළ සහයෝගීතාව ඉතා අපූරුවට තිබුණා. මේ සිසුවා නැවතී සිටි නිවසේ අසල්වාසී දෙමළ පවුල්වලත් ඒ සහයෝගීතාව සංග්‍රහශීලී බව නොඅඩුව තිබුණා. හවසට ඒ නිවෙස්වලට ගියාම කිරිකෝපි හදලා දෙනවා. වත්තේ, දෙළුම් කඩා පීරිසයක දමා කෑමට දෙනවා. ඉතින් ඔය එක ගෙදරක ශාන්තිනී කියලා අවුරුදු 15 ක විතර පාසල් යන දැරියක් හිටියා. ඇය ඉගෙනගත්තේ සුප්‍රසිද්ධ මන්නාරම් කන්‍යාරාමයේ. අපේ සිසුවාට අවුරුදු 17ක්. මේ දෙන්නාට දෙන්නා අතරේ යම් හැඟීමක් ඇතිවෙනවා. ඒ නිසාම අපේ මිත්‍රයා ඉංග්‍රීසි පන්තිය Cut කරලා පාසල් ඇරෙන වෙලාවට මගට ගිහින් ශාන්තිනී එක්ක එනවා. ඒ වුණත් අවාසනාවට ඔහුට දෙමළවත් ඇයට සිංහලවත් කතා කරන්නට බැහැ.


කාලය කෙමෙන් ගෙවී ගිහින් මේ සිසුවාට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කැඳවීම ලැබෙනවා. ඒ නිසා ඔහුට නැවත ගාල්ලට යන්නට සිදුවෙනවා. අවසානයේ දී ගාල්ලට යන්නට පෙරදින ඔහුට රාත්‍රී කෑමකට ආරාධනා ලැබෙනවා තමන්ගේ හිතවත් දෙමළ පවුල්වලින්. සංග්‍රහ බුක්ති විඳ අවසානයේ දී අපේ මිතුරා හැමෝම ඉදිරියට ගොස්, සිංහලෙන්, "මම හෙට ගාල්ලට යනවා මට නැවත මන්නාරමට එන්නට ලැබෙයි ද දන්නේ නැහැ" කියලා කියනවා. මේ අසන ශාන්තිනී හොඳටම අඬනවා.

සිසුවාගේ මේ අත්දැකීම ඔහුගේ පාසල් මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහයන්ට දැනගන්නට ලැබෙනවා.


1983 වසරේ දී රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල ඔක්කම්පිටිය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන විට අවාසනාවන්ත ජූලි කලබලයේ සිදුවන දේවල් ඔහුට දකින්නට ලැබෙනවා. ගිනි තැබීම්, කොල්ල කෑම්, ඝාතන ආදිය. මේ අතරේ එතුමාට මතක් වෙනවා තමන්ගේ මිත්‍රයාගේ ශාන්තිනීට කුමක් වෙලා ඇත්ද කියා. ඇගේ කතාව ලියන්න එතුමා උත්සාහ කරනවා.

  • ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් - කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් - ශාන්තිනීගේ නළලේ ඇති කුංකුම තිලකය තෙමාගෙන වැටෙනවා. ඒකට හේතුව අහසේ හඳ (චන්දිරන්) අඬන කොට හඳේ කඳුළු, ඇගේ හිස මතට වැටෙන නිසා. ඇයි මේ හඳ අඬන්නේ?

  • පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් - ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං - ජාතීන් දෙකක් අතර ඇති ශුද්ධ වූ ස්ථානයකට ගිනි ඇවිලිලා ඒ නිසයි හඳ අඬන්නේ.

  • ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං - ඒ නිසා අපිට ආරක්ෂාව තියෙන්නේ දෙවියන් ඉන්න තැනක විතරයි. අපි එවැනි තැනකට යමු.

  • කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන් - නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් - කනේ තියෙන තිරුවංගල්වල එලිය වැටීම නිසා කඳුළු දිලිසෙනවා. ඒ නිසා ඔබේ මුහුණ දුකෙන් පිරිලා කියාගන්න බැරි කවියක් නිසා.

  • බියේ සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම් - බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් - තමාට අනතුරක් වෙයි කියලා හිතෙන නිසා ඇගේ දෑතේ වළලු ගැහෙනවා. ඒවා ගැහෙන්නේ ඔයතරම් බර නිසාද ?

  • සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න - මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න - ජාතිවාදී මහත්වරුනි, ජාති භේද සියල්ල ඔබ තියාගන්න. මගේ ශාන්තිනීව මරන්න එපා ඇය ව මට දෙන්න.

  • තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න - මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න - තිරුක්කුරල් කියන ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය දිග හැරලා බලන්න. ඇස් වහගෙන හරි බලන්න. ඒ වුණාට මට ශාන්තිනී ව දෙන්න. ඇයව මරන්න එපා.

මේ ගීතය තමා රත්න ශ්‍රී විජේසිංහයන් අතින් කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ට රචනා කර පටිගත කල පළමු ගීතය. මේ ශාන්තිනී ව මුණ ගැසුණු අර මිතුරා කවුද? ඒ වෙන කවුරුවත් නොවේ, රත්න ශ්‍රී විජේසිංහයන්මයි.!!!!! එතුමා පවසන පරිදි අද ශාන්තිනී, චාල්ස් නම් පුද්ගලයෙක් සමග විවාහ වී වව්නියා නගරයේ ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් කරන අතර දෙදරු මවක් ලෙස සතුටින් කාලය ගත කරනවා.


留言


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page