මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
- මාධව විජේසේකර
- May 13, 2017
- 2 min read



මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි
සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළව කොතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවෙයි මගෙ දුවේ ඔබ..... ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගෙ දුවේ ඔබ.....
මේ ගීතය රචනා කරලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින්. එතුමාට දියණියන් දෙදෙනෙක් ඉන්නේ. මේ දෙන්නා ඉගෙනගත්තේ ගාල්ල නගරයේ ජනප්‍රිය බාලිකා පාසලක. ඉතින් මේ පාසලේ ඉතා පොහොසත් දෙමාපියන්ගේ දැරියනුත් ඉගෙනගත්තා. මේ දැරියන් දෙදෙනා එවකට ඉඳලා තියෙන්නේ බාලංශ පන්තිවල. ඉතින් අර පොහොසත් දෙමව්පියන් ගුරුවරියන්ට ඉතා වටිනා තෑගි ගෙනත් දෙනවා. වටිනා සාරි එහෙම ආදිය. තවත් සමහරු මාලදිවයින් සංචාරවලට පවා වියදම්කරනවා. ඉතින් මේ අයගේ ළමයින්ට වැඩි අවධානයක් යොමුවෙනවා.
මේක ඇත්තටම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දියණියන්ට හරිම වේදනාවක් ගෙන දෙනවා. මොකද ඒ වෙනකොට රත්න ශ්‍රී විජේසිංහයන් මහරගම ගුරු විද්‍යාලයේ සේවය කරන්නේ. එතරම් සරු ආර්ථිකයක් ඔහුට නෑ. දියණියන්ගේ මැසිවිලි ඔහුට දැනෙනවා. ඔහු පාසල් නිවාඩු කාලයේදී තමන්ගේ දියණියන් දෙදෙනාව එක්කගෙන යනවා එතුමාගේ ගම් ප්‍රදේශය වන තෙළඹුරේ නම් පිටිසර ගම්මානය වෙත. රාත්‍රී කාලයේ දී ඔවුන් දෙදෙනාව මිදුලට එක්කගෙන ඇවිත් හාත්පස පරිසරය පෙන්වන්වා. සිංහරාජ කඳුවැටිය බෑවුම් වෙන්නේ මේ ගම ඉදිරියෙන්. ඇල ගලාගෙන බසිනවා. කුඹුරු පැහිලා හඳ එළියට දිලිසෙනවා. සේපාලිකා මල් පිපිලා සුවඳ හමනවා. මේ චමත්කාරය පෙන්වලා රත්න ශ්‍රී විජේසිංහයන් තම දියණියන්ට කියනවා, "පුතේ මේ තියෙන දේවල් රස විඳින්න තියෙන්නේ. ඒවාට අපිට සල්ලි වියදම් කරන්න ඕන නෑ. මේවා රස විඳින ගමන් අනාගත පරපුරටත් අපි මේවා ඉතිරි කල යුතුයි."
මෙන්න මේ පණිවිඩය එතුමාට සමස්ත දැයේ දුවා දරුවන්ට දෙන්න ඕන කරනවා. ඒ උතුම් අරමුණේ ප්‍රතිඵලයක් ලෙස තමා මේ ගීතය රචනා වෙන්නේ. මෙහි තනුව නිර්මාණය කලේ රෝහණ වීරසිංහයන්. එතුමා කිහිපවතාවක්ම මෙහි තනුව වෙනස් කරලා තියෙනවා ගීතයේ හරි හැඟීම රසිකයාට දැනෙන විදියට. අවසානයට සංස්කරණය කලාට පස්සේ තමයි මේ ගීතය පටිගත වෙන්නේ. ඉතින් තාත්තා කෙනෙක් දුවෙකුට දෙන ඉතාමත් සංවේදී ඔවදනක් තමා මෙහි සඳහන් වෙන්නේ.
Comments