top of page
Search

කොමල ලියා බොළඳ ලියා  - සිකුරුලියා (1975)

  • මාධව විජේසේකර
  • May 11, 2017
  • 4 min read

හඬ : මිල්ටන් පෙරේරා

පද : ධර්මසිරි ගමගේ

තනුව : ක්ලැරන්ස් විජේවර්ධන

කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා

නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමල ලියා... නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමල ලියා... ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා පාළුව ළඟ මා රන්දා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරු ලියා කොමල ලියා...

"උම්මග්ග ජාතකයේ" එන "දික්තල කාලගෝල" ප්‍රශ්නය ඇසුරින්, එයට නව ආරක් එකතුකරමින් එච්. ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය අපි කවුරුත් ඉතාම ආදරයෙන් වැළඳගත්ත ගීතයක්.


චිත්‍රපටිය බලලා නැති අයට කෙටියෙන් කතාව කියනවා නම් කායික වශයෙන් ඉතාම මිටි ඒවුණත් පොහොසත් පුද්ගලයෙක් වන ජොනී බාලසූරිය සමග දුප්පත් වුණත් ලස්සන කාන්තාවකට විවාහවෙන්න සිද්ධවෙනවා. ජොනී බාලසූරියට රඟපෑවේ "බන්දුල ගලගෙදර" මහතා. ලස්සන තරුණියට රඟපෑවේ "සුවිනීතා කෝන්ගහගේ" මහත්මිය. (ඇත්තටම ඇගේ චරිතයේ නම මතක නැහැ. ඒ නිසා "තරුණිය" කියන වචනය භාවිතා කරනවා.) ඉතින් තමන්ගේ දැඩි අකමැත්තට, මව්පියන්ගේ පෙරැත්තෙට අර ජොනී බාලසූරිය සමග විවාහ වුණත් ඇය සතුටින් නෙමෙයි ඉන්නේ. කාලයත් එක්ක ඇය තමන්ගේ සැමියාගේ රියදුරු (මට මතක විදියට) එක්ක යාළුවෙනවා. ඒ චරිතය රඟපෑවේ "ජෝ අබේවික්‍රම" මහතා. ඉතින් මේ අනියම් හාදකමේ ප්‍රතිඵලයත් එක්ක, දෙන්නා පැනලා යනවා. පැනලා ගියායින් පස්සේ අර ජොනී බාලසූරියගේ විලාපය තමා මේ මුළු ගීතයෙන් ම කියවෙන්නේ.


මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කල "ක්ලැරන්ස් විජේවර්ධන" මහතාගේ යෝජනාවකට අනුව තමයි "මිල්ටන් පෙරේරා" මහතා ගිතය ගායනා කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. එයට හේතුව තමා මිල්ටන් පෙරේරා මහතාගේ හඬ ස්වාභාවයෙන් ම දුක්බර හඬක් වීම. ඉතින් ඒ හඬ මේ ගීතයේ තේමාවට ඒක හරි අපූරුවට ගැලපිලා තියෙනවා.


ගීතය පටිගත කරපු අවස්ථාවත් හරිම අපූරුයි. මුල දී ගීතයක් සාමාන්‍යයෙන් පුහුණුවීමක් (Rehearsal) කරලා ඉවර කරලානේ ගීතය ඇත්තට ම පටිගත කරන්නේ. නමුත් පුහුණුවීම කරද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්, මේ චිත්‍රපටියේ ගීතවල ශබ්ද පරිපාලක හැටියට කටයුතු කරපු "මර්වින් රොඩ්‍රිගෝ" මහතාට කියලා තියෙනවා පුහුණුවීමත් පටිගත කරගන්න කියලා. ඊට පස්සේ ඇත්තටම චිත්‍රපටියේ යොදන ගීතය විදියට එහෙම නැත්තන් Take එක විදියට පටිගත කලාලු. අහලා බලනකොට දෙකම එකවගේ. ඒ කියන්නේ, මිල්ටන් පෙරේරා මහතා කිසිම වැරදීමකින් තොරව දෙපාර ම හරියට ගායනා කරලා තියෙනවා. නමුත් චිත්‍රපටියේ රූප රාමුවලට එහෙම නැත්නම් අපි මේ දකින දර්ශනයට යොදලා තියෙන්නේ, පුහුණුවීමේ දී ගත්ත රෙකෝඩින් එක. (Rehearsal Recording). ඉතින් බලන්න ඒකෙන් ම පේනවා නේද මිල්ටන් පෙරේරා මහතා කොච්චර දක්ෂයෙක් ද කියලා?


මේක රචනා කලේ ධර්මසිරි ගමගේ මහතා අතින්. ඒක ඇත්තට ම මාත්‍රා 12 වසන්ත විරිතේ එන දරු නැළවිලි ගීතයක් ආකාරයෙන් තමා රචනා වෙලා තියෙන්නේ. වචන ටික දිහා බැලුවාම ඒක ඔබට පේනවා ඇති. නමුත් ක්ලැරන්ස් විජේවර්ධනයන් කවි ස්වරූපයෙන් තියෙන ඒ පද මාලාව, පේලි තුනෙන් තුනට කඩලා ඒ අතර මැද්දට "සිකුරුලියා" කියන වචනය Chorus එක වගේ යොදාගෙන තියෙනවා. ඒ නිසා කවි ස්වරූපය යටගිහින් ගීතවත් ස්වභාවය ඇවිල්ලා ඇවිත් තියෙනවා.


ජොනී බාලසූරිය චරිතය රඟ පෑ බන්දුල ගලගෙදර මහතා ගැනත් වචනයක් කියන්න ඕන. මට එක්තරා අවස්ථාවක අහම්බයෙන් එතුමාව මුණගැහෙන්න ලැබුණා. හරිම හොඳ පුද්ගලයෙක්. එතුමාගේ පළමු චිත්‍රපටි රංගනය මෙයයි. එතුමාගේ සම්පූර්ණ නම "බන්දුල උබයරත්න ගලගෙදර" යි. උස අඩි 4 අඟල් 5යි. හැබැයි පවුලේ 6 දෙනෙක් අතරින් එතුමා විතරයි මිටි. අනික් ඔක්කෝම සාමාන්‍ය ශරීර ස්වභාවයෙන් ඉන්නේ.


කැලණියේ හිඹුටුවැල්ගොඩ ගමේ උපන් එතුමා අකුරු කළේ "ධර්මාලෝක විද්‍යාලයේයි". සුනිල් එදිරිසිංහ මහතාත් එතුමා සමඟ එක බංකුවේ වාඩි වී සිටි සගයෙක්. සුනිල් එදිරිසිංහයන් කෙදිනක හෝ දක්ෂ ගායකයකු වේ යයි කියා සංගීත ගුරුතුමා අනාවැකි පළ කරද්දී බන්දුල මහතාගේ සිතෙත් කවදාහරි නළුවකු වීමේ සිහිනය රජ කරලා තියෙනවා. ඒ සඳහා එතුමාට වේදිකාව සාදා දී ඇත්තේද පාසලයි. පාසලේ කාලගෝල නාට්‍යයේ කාලගෝලට රඟපාලා හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා තිබෙනවා.


එච්. ඩී. ප්‍රේමරත්න නම් ශූර අධ්‍යක්ෂවරයාට එතුමාව හඳුනාගන්නට ලැබුණාට පසු ඔහු එතුමාව රූගත කරන තැන්වලට කැඳවා ගෙන ගිහින් අත්දැකීම් ලබා දීලා තිබෙනවා. ‘සිකුරුලියා’ සිනමා පටයේ ජොනී බාලසූරිය චරිතය ලැබී තිබෙන්නේ ඉන් පසුවයි. අත්දැකීම්වලින් පිරිපුන් සෙසු ප්‍රධාන නළු නිළියන් නො මසුරුව එතුමාට සහය ලබා දීලා තියෙනවලු.


සිනමා පටය තිරගත වීමෙන් පසු අති විශිෂ්ඨ රංගධරයකු වූ ගාමිණී ෆොන්සේකා මහතා එතුමාට මුණ ගැහිලා තිබෙනවා. ගාමිණී මහතා, අසැබි වචන කිහිපයක් කියා මෙතුමාගේ කම්මුලට අමතක නො වන පහරක් ගහලා තියෙනවා. ‘උඹේ රඟපෑම නම් ඉතාම ඉහළයි. ඒත් ඇයි රුපියල් තුන්දාහක මුදලකට රඟපෑවේ?’ කියලා එතුමා අහලා තියෙනවා. නළු නිළියන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ ඉතා ඉහළින්ම කතා කළ, ඒ වෙනුවෙන් සටන් කළ සිනමා සක්විති, ගාමිණී ෆොන්සේකා එලෙස කෝපයට පත් වීම ස්වභාවිකයි කියලා හිතෙනවා. මොකද දන්න තරමින් චිත්‍රපටියේ අනික් ශිල්පීන්ට මීට වඩා හොඳ ගෙවීමක් ලැබිලා තියෙනවලු!!!!!!


සිකුරුලියා චිත්‍රපටිය ගැන සැකෙවින් :

  • තිරගත වූ දිනය – 1975 සැප්තැම්බර් 27

  • ඉදිරිපත් කිරීම – තාරක චිත්‍රපට

  • නිෂ්පාදනය – එම්. බී. වසිරුල් අන්සාරි, පී. ඇන්ටන් ප්‍රනාන්දු, බී. ඩී. ටියුටර් පෙරේරා, බී. මිල්ටන් රණසිංහ

  • සහාය නිෂ්පාදනය - උල්විසිහේවා නන්දසිරි

  • කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න

  • සහාය අධ්‍යක්ෂණය – හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර

  • කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර

  • සංස්කරණය – ටයිටස් තොටවත්ත

  • සහාය සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය)

  • සහාය කැමරා ශිල්පීන් – ඇම්. වී. හේමපාල, ජයනාත් ගුණවර්ධන

  • වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

  • සහාය වේශ නිරූපණය – සෙල්වරත්නම්, හිල්ටන් මෙන්ඩිස්

  • කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල

  • සටන් පුහුණුව - රොබින් ප්‍රනාන්දු

  • ශබ්ද පරිපාලනය – මර්වින් රොඩ්රිගෝ (ගීත)

  • සහාය ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (විශේෂ ශබ්ද)

  • නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු, එච්. සෙයිනුල් ආබ්දීන්

  • නිෂ්පාදන කළමනාකරු - එච්. ජේ. එම්. අෂ්රෆ්

  • සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරැන්ස් විජේවර්ධන

  • රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන

  • චිත්‍රාගාරය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ගීත :

  • සිකුරුලියා බොළඳ ලියා - මිල්ටන් පෙරේරා -ධර්මසිරි ගමගේ

  • හිම කන්දේ මනමාලි - ශිරෝමි ප්‍රනාන්දු, ලිලන්ති කරුණානායක – ධර්මසිරි ගමගේ

  • මල්සර හදකට තුරුළු වෙලා - ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - ජෝරර්ජ් ලේස්ලි රණසිංහ

  • දිලි දිලි දිලිසෙන එළියක් – එම්. එස්. ප්‍රනාන්දු - සිරිල් ඒ. සීලවිමල

  • වසන්තයේ මල් කැකුළයි – ඉන්ද්‍රාණි පෙරේරා - ක්ලැරැන්ස් විජේවර්ධන

  • ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන

නළු නිළියන් :

  • ජෝ අබේවික්‍රම

  • විජය කුමාරණතුංග

  • සුවිනීතා කෝන්ගහගේ

  • බන්දුල ගලගෙදර

  • රොබින් ප්‍රනාන්දු

  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

  • පියදාස ගුණසේකර

  • ශාන්ති ලේඛා

  • විමල් කුමාර ද කොස්තා

  • දෙනවක හාමිනේ

  • තලතා ගුණසේකර

  • ගාමිණී ගනේගොඩ

  • ජෝ දඹුලුගල

  • බැසිල් ද සේරම්

  • බර්ටි ගුණතිලක

  • ඇග්නස් සිරිසේන

  • රූබි ද මෙල්

  • ලලිතා අල්මේදා

  • ටියුඩර් ලියනගේ

  • ආනන්ද සිරිසේන

  • ශිරෝමාලා

  • ශීලා ප්‍රනාන්දු

  • අමරදත් දඹුලුගල

  • දේවිකා රණසිංහ

  • පාලිත බණ්ඩාර

  • සෙනරත් යාපා

  • ප්‍රදර්ශනය සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 18 කදී ඇරැඹිණ.

  • මංගල දර්ශනය එවකට කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන්හිදී පැවැත්විණ.

  • විශේෂතා : දෙවන සිංහල වෘතාන්ත සිනමාස්කෝප් චිත්‍රපටය

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page