මලක සුවඳ පතා
- මාධව විජේසේකර
- May 10, 2017
- 2 min read



මලක සුවඳ පතා
රුවට වසඟ වෙලා
එ මල නෙලන්නෙපා //
සිතක සතුට පතා
රුවට වසඟ වෙලා
සෙනෙහෙ පුදන්නෙපා//
මලක සුවඳ පතා...
විලක වතුර පිපී
ගඟුල හොඳයි කියා
එ විල නසන්නෙපා//
පෙමක සතුට ලබා
දිළිඳු ළඳකි කියා
ඇය රිදවන්නෙපා රිදවන්නෙපා
මලක සුවඳ පතා...
සඳක එළිය ගලා
අඳුර නැසෙන් කියා
සඳ ගරහන්නෙපා //
ළඳක සෙනෙහෙ ලබා
චපල සිතින් එදා
ඇයව හඬවන්නෙපා හඬවන්නෙපා
මේ ගීතය රචනා කරලා තියෙන්නේ, අපේ රටේ ඉතාමත් ආන්දෝලනාත්මක චරිතයක් වූ "විජිත රෝහණ විජයමුණි" මහතා. රජිව් ගාන්ධි මහතාට 1987 දී තමන්ගේ තුවක්කු බඳෙන් හිසට පහරදුන් තැනැත්තා කියල කිව්වොත් දැන් ඔබට මතක් වෙනවා ඇති. දැන් ජ්‍යෝතීර්වේදියෙක් ලෙසටත් එතුමා යම් ආන්දෝලනාත්මක චරිතයක් වෙලානේ ඉන්නේ. කොහොමහරි රජීව් ගාන්ධි මහතාට පහර දුන්නාට පස්සේ විජයමුණි මහතා සිරගතව ඉන්නකොට තමා මේ ගීතය රචනා කරලා තියෙන්නේ.
මේ ගීතයේ පද මාලාව වික්ටර් රත්නායක ශූරීන්ට ලැබුණාම එතුමා හුඟක් වෙලා කල්පනා කරලා මේ ගීතයට රාගධාරී සංගීතයේ එන රාග කිහිපයක් ඇසුරින් ඉතාම මහන්සිවෙලා ඉතාම මියුරු තනුවක් යොදලා තියෙනවා. යම් අවවාදාත්මක ස්වරූපයක් මේ පද මාලාවේ තියෙන නිසා ඒ බව වැඩියෙන් හැඟෙන පරිදි තනුව යොදලා තියෙනවා කියලා මට හිතෙනවා.
මේ පද මාලාව හරිම අපූරුයි. මේකේ සම්පූර්ණයෙන් ම තියෙන්නේ, "අර්ථාන්තරන්‍යාස" (අර්ථාන්තර - න්‍යාස) නම් අලංකාර විශේෂයෙන්. මේක සංස්කෘත කාව්‍ය ශාස්ත්‍රයේ එන ස්වරූපයක්. න්‍යාසය කියන්නේ, යම් සමානකමක් කියන එකයි. අර්ථ අතර සමානකම - කියන එක තමයි අර්ථාන්තරන්‍යාස කියන්නේ. එතකොට දැන් මේක කොහොමද කාව්‍යකරණයේ දී යොදාගන්නේ? යම් කතාවක් කියලා ඒකට ප්‍රායෝගික ජීවිතේ තියෙන ප්‍රබල උපමාවක් ගෙන හැර දක්වලා ඒ දෙක අන්තිමට සමාන කරලා පෙනවන එකයි මෙතන කරන්නේ. අපි දන්න සරල උදාහරණයක් බලමු.
කොපමණ ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙහි දැමුවත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්
අඟුරු කොච්චර කිරිවල දාල තිබ්බත් සුදු පාට වෙන්නෙ නෑ වගේ, කොච්චර හොඳ කලත් දුෂ්ට මිනිස්සුන්ට මුල මතක නෑ. පළවෙනි පද දෙකෙන් කියන කාරණේ දෙවැනි පද දෙකෙන් හොඳටම තහවුරු වන බව මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ!
අන්න ඒ වගේම තමා මෙතන තියෙන්නේ. මලක පෙනුම දැකලා වශී වෙලා ඒ මල කඩාගන්න එපා කියලා ඊට පස්සේ ප්‍රායෝගික ලෝකයට ගෙනල්ලා කාන්තාවකගේ ලස්සන දැක්ක පලියට ආදරය කරන්න යන්න එපා කියල තමයි කියන්නේ. අන්තිමට කාන්තාවත් මලත් එකට සමාන කරනවා.
ඉතින් විජිත රෝහණ විජයමුණී මහතා කවුරුවුනත් හරි දක්ෂ ගේය පද රචකයෙක්!!!
Comentarios