top of page
Search

නෙතු පෙලා රවටලා

  • මාධව විජේසේකර
  • May 9, 2017
  • 2 min read

හඬ : රෝහණ බෝගොඩ

තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : රංජනී විතානගේ

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා.. දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා.. රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා.. සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා.. මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා

ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා අත් සල සලා අපි හිනැහුනා මුළු ලොවම හිනැහුනා.../// නෙතු පෙලා රවටලා.. දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා සල් සුණු සුවඳින් ගත සරසා ලඟට වඩින දා ලංවෙන තුරා හිටියත් බලා.. මා ලොවෙහි තනි වුනා.../// නෙතු පෙලා රවටලා..

මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදිකාවක වන "රංජනී විතානගේ" මහත්මියයි. ඇය අන් කවරෙකුවත් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදකයෙක් වන "ආරියසිරි විතානගේ" මහතාගේ ආදරණීය නැගණියයි. මෙහි තනු නිර්මාණය කර ඇත්තේ "මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි" මහතා විසිනි. රෝහණ බෝගොඩයන්ගේ ඉල්ලීම මත සනත් නන්දසිරි මහාචාර්යතුමා විසින් යමන් කළ්‍යණි රාගය ඇසුරු කරමින් මෙහි තනුව නිර්මාණය කර තිබෙනවා.


මෙහි දී පද රචනය ඉතාම අපූරුවට රංජනී විතානගේ මහත්මිය විසින් සිදුකර තිබෙනවා. මෙය ගීත රචිකාවක් අතින් ලියවුණත් පුරුෂයෙකුගේ කථන ස්වරූපයෙන් ලියා තිබීම ඉතා මැනවින් කරලා තිබෙනවා. මේ ගීතයෙන් කියවෙන්නේ පෙම්වතෙකුගේ සාංකාව ගැනයි. ඒ සඳහා අපූරු රූපයකයක් විතානගේ මහත්මිය යොදාගෙන තියෙනවා "හිරුත් සැඟවිලා" කියලා. ඒක යොදලා තියෙන්නේ, පූර්ව ක්‍රියා කිහිපයකට පස්සේ. පෙලා, රවටලා, වෙන්වෙලා ආදී වශයෙන්. අන්තිමට හිරුත් සැඟවිලා කියන එකෙන් ප්‍රේමයේ පරාජය තහවුරු කරලා පෙන්වනවා.


පළවෙනි අන්තරා කොටසින් කියන්නේ, පෙම්වතියත් සමග කාලය ගත කල ඒ සොඳුරු අතීතය ගැන. ඒ සුන්දර මතකයන් ගෙන හැර දක්වනවා. ඒ දෙදෙනා එකතු වූ දවසේ ලෝකයම සතුටින් ඔවුන්ට ආශිර්වාද කලා කියන එක කියවෙනවා.


මෙහි වඩාත් ලස්සනම යෙදුම් යොදලා තියෙන්නේ, දෙවනි අන්තරා කොටසේ.

  • දුල් මිණි සඟල - දුල් කියන්නේ බැබලෙන, මිණි සඟල කියන්නේ ඇස්. එතකොට දුල් මිණි සඟල කියන්නේ, "බැබලෙන ඇස් දෙක" කියන එකයි.

  • සල් සුණු සුවඳින් - සුණු කියන්නේ චූර්ණ කියන එකයි. ඒ කියන්නේ කුඩු. මෙතන සල් කියලා කියන්නේ, මල්වර්ගයක්. ඒ නිසා සල් සුණු කිව්වාම "මල් රේණු" කියන එක තමයි මේ අදහස් කරන්නේ.

ඉතින් මේ ගීතයට රෝහණ බෝගොඩයන් යමන් කළ්‍යාණි රාගය යොදා ගන්න කියා යෝජනා කිරීම ඉතා හොඳ තීරණයක් කියලා මට හිතෙනවා. මොකද මෙතන විරහවේ සාංකාව ගැනත් කියවෙන අතර හිරු සැඟවිලා කියලත් කියනවානේ. එතකොට සන්ධ්‍යා කාලයේ දී ඒ ගැන මෙනෙහි කිරීම ගැලපෙනවා. පාළුව, තනිකම, දවසේ මැළවී ගිය ස්වරූපය හිරු බැස යන වෙලාවට හොඳට ගැලපෙනවා. ඉතින් මේ වෙලාවට ගයන හොඳම රාගය තමයි යමන් කළ්‍යාණි රාගය. මොකද එහි ගායන සමය හවස 6 - රාත්‍රී 9 දක්වා යෙදිලා තියෙන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page