top of page
Search

නාඬන් පුංචි හිරමනේ

  • මාධව විජේසේකර
  • May 7, 2017
  • 2 min read

හඬ : ප්‍රදීපා ධර්මදාස

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : සරත් දසනායක

නාඬන් පුංචි හිරමනේ

ඇවිදින් ඔන්න වසන්තේ//

මේ... රුහුණු කරේ පොල්වතු බෝමා

මට පාඩගම් පබළු අරගෙන

පොල් මල් පිපිලා දොරකඩ

අර බලපල්ලා..//

දොංත දොං රබන් අරගෙන

පංච කිරි කවඩි හිනැහෙන

දවස ඇවිල්ලා......

කහට පොතු කකා කියවෙන

කටින් වාරමක් කියන්න

දත මැදපල්ලා...//

කොංද කොඳ කැකුළු කදිරං

පුංචි ඉනට සේල අරං

එයිද කොබෙයියෝ...

රංචාගොඩ කවි සීපද

හන්දි ඉරා මල් යහනට

වඩින්න දෙයියෝ...//

නාඬන් පුංචි හිරමනේ...

මේ ගීතය සිංහල අලුත් අවුරුදු කාලය එනකොට අපිට නිතරම ඇහෙන ගීතයක්. මේ ගීතය රචනා කලේ රත්න ශ්‍රී විජේසිංහ මහතා. දවසක් ප්‍රදීපා ධර්මදාස මහත්මිය එතුමාට දුරකථන ඇමතුමක් අරගෙන ඇහුවලු මොකද්ද මේ ගීතය රචනා වෙන්න හේතුව කියලා. ඉතින් එතුමා කරපු විග්‍රහයක් ප්‍රදීපා ධර්මදාස මහත්මිය රූපවාහිනී වැඩසටහනකදී කිව්වා. ඒ කාරණා එකතු කරලා තමයි මම සටහන ලියන්නේ.


මෙතන රංචාගොඩ කවි සීපද කියලා පේළියක් තියෙනවා. රංචාගොඩ කියන්නේ, රුහුණු ප්‍රදේශයේ ගජමන් නෝනා හිටපු වකවානුවේම හිටපු කිවිඳියක්. ඉතින් ඇය විවාහ වෙලා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියාම දකින දෘෂ්ටි කෝණයෙන් තමා රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේක ඇත්තටම වෙච්ච දෙයක් නෙමෙයි. මෙතන රංචාගොඩ කිවිඳිය කථා නායිකාව හැටියට අරගෙන තියෙන්නේ ඇය කවියෙන් ම හැමදෙනා ආමන්ත්‍රණය කරපු නිසා.


ඉතින් ඇය කියන විදියට ඇය විවාපත් වෙලා රුහුණු කරෙන් මේ ගමට ආවා ම ඒ ගමේ පොල් හිඟයිලු. ඈ හැදුණු වැඩුණු රුහුණුකරේ පොල් බහුලව තියෙනවා. ඒක තමා මේ... රුහුණු කරේ පොල්වතු බෝමා කියලා තියෙන්නේ. ඉතින් මේ ගමේ පොල් හිඟ නිසා හිරමනයට වැඩ අඩුයිලු. ඒ නිසා හිරමනේ දුකින් ඉන්නවා.


අවුරුදු කාලේ ළං වෙනකොට රංචාගොඩ කිවිඳිය හිරමනයටත් කවියෙන් අමතනවා. "පුංචි හිරමනේ අඬන්න එපා දැන් ඔන්න අවුරුදු කාලේ එන්නේ." එහෙම කියන්නේ අවුරුදු කාලෙට හිරමනයට වැඩ වැඩියි. කැවිලි හදන්න, කිරිබත් හදන්න පොල් ගානවානේ. මේ වචන ටික රත්න ශ්‍රී විජේසිංහයන් එක්තරා කවියකින් උපුටා ගෙන තියෙන්නේ. මුළු කවිය ම මට හොයා ගන්න බැරිවුණත්, එහි අවසාන පදය තමා "නාඬන් හිරමනේ පොල් ගානවා හෙට".


ඉතින් ගීතයේ අනික් පද ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට ලෑස්තිවෙන ක්‍රියාකාරකම් ගැන තමා කියවෙන්නේ. අන්තිමට "හන්දි ඉරා මල් යහනට වඩින්න දෙයියෝ" කියන කොටසත් උපුටා ගෙන තියෙන්නේ මල් යහන් කවි ආශ්‍රයෙන්.


ඒ වගේම මෙහි සංගීතය සරත් දසනායකයන්ගේ. බොහෝ දෙනාට තියා ප්‍රදීපා ධර්මදාස මහත්මියටවත් හිතාගන්න බැරි වුණාලු මේ තනුව එතුමාගේ ම ද කියලා. ඒක තමයි නියම සංගීතඥයෙකුගේ හැකියාව.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page