top of page
Search

මගේ ළමැද සුව යහනක්

  • මාධව විජේසේකර
  • May 6, 2017
  • 2 min read

හඬ : ප්‍රියා සූරියසේන

පද : ඩොනල්ඩ් අයිවන්

තනුව : ස්ටැන්ලි පීරිස්

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා //

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැඳවාගෙන

නොයන් කුමරියේ මගේ ළමැද සුව යහනක්... අපට උරුම අපේ ලොවේ

හද සොම්නස් සතුට දරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක්...

මේ ගීතය ප්‍රියා සූරියසේන මහතා 70 දශකයේ, ගායනා කරපු ගීතයක්. එතුමා ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණය සමත් වුණාට පස්සේ එතුමාට සරල ගී වැඩසටහනක් ලැබෙනවා. එහි ගීත තුනක් ඇතුළත් වෙනවා. ඒ තුනෙන් එක් ගීතයක් තමා මේක. ගුවන් විදුලියේ මේක ඉතාම ජනප්‍රිය වීම නිසාම ප්‍රසංග වේදිකාවල දී අදටත් මේ ගීතයට විශාල ඉල්ලීමක් තියෙනවා.


ප්‍රියා සූරියසේන මහතාගේ ප්‍රථම කැසට් පටියට මේ ගීතයත් ඇතුළත් වුණා. ලංකාවේ කැසට් පටි ඉතිහාසය ආරම්භ වෙන්නේ 70 දශකයෙන්. ග්‍රැමෆෝන් යුගය අවසන් කරලා කැසට් යුගයට ආවයින් පස්සේ පළමු කැසට් පටියට ගීත ගායනා කලේ මිල්ටන් මල්ලවආරච්චි මහතා. දෙවැනි කැසට් පටියට ගීත ගායනා කලේ ප්‍රියා සූරියසේන මහතා. තුන්වැන්න ටී. එම්. ජයරත්න මහතාගේ.


මේ ගීතය රචනා කලේ අපේ රටේ හිටපු දක්ෂ ශබ්ද පරිපාලකයෙක් වුණ ඩොනල්ඩ් අයිවන් මහතා. ලංකාවේ ගීත රචනයට පිවිසි පළමු ශබ්ද පරිපාලකයා වූයේත් එතුමාමයි. තවත් ලස්සන ගීත ගණනාවක් එතුමා රචනා කරලා තියෙනවා.

  • මාගේ සැමරුම් පොතේ - ප්‍රියා සූරියසේන

  • හැරදා විමන් සිය මා පියන් - ප්‍රියා සූරියසේන

  • සෙනෙහස බිඳුවක්‌ - මිල්ටන් මල්ලවආරච්චි

  • බලා හිඳිමි දුර ඈතක - නීලා වික්‍රමසිංහ

  • ඔබ මා හමු වූ අවසන් දිනේ - කීර්ති පැස්‌කුවල්

  • ගඟ අද්දර - වික්‌ටර් රත්නායක

එතුමා උපත ලබන්නේ 1950 වසරේ වයඹ පළාතේ සුන්දර මාරවිල ග්‍රාමයේ. එහිම ශාන්ත ක්ෂේවියර් හා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාල තුළින් මූලික අධ්‍යාපනය හදාරනවා. ඉන්පසු කාර්මික ක්‍ෂේත්‍රය පිළිබඳව වූ ඇල්ම නිසාම කොටහේනේ ගරු ඉග්නේෂස්‌ පියතුමා යටතේ වූ ගුවන් විදුලි රසායනාගාරයට ඇතුළත් වෙලා වසර දෙකක පුහුණුවක් ලබා පසුව එහිම වසර පහක්‌ සේවයේ නිරත වෙනවා. ඒ ලද දැනුම තව තවත් ඔපවත් කර ගනිමින් 1974 වසරේදී ජෝ නෙත් ශබ්දාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලක ලෙසින් එතුමා සේවයට එක්‌වන්නේ ගරු රූපස්‌ බෙනඩික්‌ පියතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන්.


එකල ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන් ගැයූ නත්තල් කැරොල් ගීත කිහිපයක්‌ සඳහා මුලින් ම නාද සංකලනය කරපු එතුමා එදා මෙදා තුර රුක්‌මණී දේවියගේ සිට නිරෝෂා විරාජිනී දක්‌වා දහස්‌ ගණනක්‌ ගීත වෙනුවෙන් ඔහුගේ හඬ පාලන දායකත්ව දැනුම දීලා තියෙනවා. ඒ අතර සිංහල චිත්‍රපට විශාල ප්‍රමාණයකුත්, ගීත තැටි 500 කට අධිකව ගීත කැසට්‌ පට හා CD තැටි ත් තිබෙනවා.


ඔහුගේ දයාබර බිරිඳ වූයේ ලංකාවේ ප්‍රථම කැසට්‌ පට නිෂ්පාදක සහ චිත්‍රපට නිෂ්පාදක "තරංගා" අධිපති විජය රාමනායකගේ ආදරණීය නැඟණිය වූ ප්‍රෙමිලා රාමනායක මහත්මියයි. ඔවුන්ගේ එකම දියණිය දුලංජි ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ දීප්තිමත් සිසුවියක්.


පුරෝගාමී ශබ්ද පරිපාලකයකු ලෙසින් වසර 30 කට අධික කාලයක්‌ සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් අද්විතීය මෙහෙයක්‌ ඉටු කළ, "ඩොනා" යන සුරතල් නමින් කලා ලොවේ කා අතරත් ආදරය, ගෞරවය දිනා සිටි එතුමා 2011 වසරේ මාර්තු 9 වනදා ජීවන ගමන්මගේ 61 වන කණුවේ දී අපෙන් වෙලා ගියා.

Kommentare


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page