දැසමන් මලක් වගේ (මගෙ රත්තරන් හෙලේනා)
- මාධව විජේසේකර
- May 6, 2017
- 2 min read

දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි...... සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි... කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....////
රාජ බෝජන නැත මට දෙන්නට.. සීන් සිනිදු සළු නැත මට දෙන්නට.. ගේ දොර වතුපිටි නැත ගරු සරුවට.. යාන්තමට ඇත දිවි රැකගන්නට.. කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....//// දැසමන් මලක් වගේ.... පසුකරමින් මහ කදුවැටි ඕවිටි.. පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි.. ගල්මුල් වල පය පැටලී වැටි වැටි.. මතකයි හඳපානේ කැන්දන් ආ හැටි.. කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....//// දැසමන් මලක් වගේ....
මේක අපි ඕන තරම් ආදරෙන් වැළඳ ගත්ත ගීතයක්. මේකත් Love Song එකක්. හැබැයි වෙනස, කැන්දගෙන ආවට පස්සෙයි කියන්නේ. රෝහණ බැද්දගේ මහත්මයා "හෙලේනා" නම් වේදිකා නාට්‍යයක් කරන්න සූදානම් වෙලා හිටියා හොරණ තක්ෂිලා විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙක් ලෙස හිටපු කාලේ. මේ ගීතය ඒ නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කරන්න හිටිය එකක්. නමුත් නාට්‍යය කරගන්න ලැබෙන්නේ නෑ. එතුමාට ගුරු මාරුවක් ලැබෙනවා වැල්ලවාය මල්වත්තාවල විද්‍යාලයට. එහි ගුරුවරයෙක් විදියට සේවය කරන කාලේ තමයි මේ ගීතය ප්‍රචාරය වෙන්නේ.
ඉතින් එහේ යනකොට බස් එකේ යන ගමන් හපුතලේ, බෙරගල ආදී කඳු වැටි ප්‍රදේශ පහුකරමින් යන ගමන් තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. "පසුකරමින් මහ කදුවැටි ඕවිටි" කියලා එකතු වෙලා තියෙන්නේ එවායින්. හොරණ තක්ෂිලාවේ උගන්වන කාලේ ගෙදර ඉඳන් හැතැප්ම 5ක් විතර දුරක් ගෙවා යන එන කොට පහුකරපු පාළු සොහොන් පිටි, රබර්වතු, බඩවැටිත් මේකට එකතු කරලා තියෙනවා.
ඉතින් 1974 වසරේ මේ ගීතය ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ අංශයේ ගීතයක් විදියට ප්‍රචාරය වෙනවා. රෝහණ බැද්දගේ මහතා මුලින් ම ගුවන් විදුලියෙන් හඳුන්වාදුන් ගීතය මෙයයි. හැබැයි ඒ කාලේ මේ ගීතය ලොකු ආන්දෝලනයකට ලක් වුණා. ඒකට හේතුව, සාමාන්‍යයෙන් වෙනත් ගීතවල නැති ස්වාභාවයක් මෙහි තිබීම, මැද්දෙන් කවුද........ ? කියලා අහන එක ටිකක් අමුතුම අත්දැකීමක් වුණා. ඇත්තටම ඒ කොටස ඇතුළත් වෙන්න හේතුව, හෙලේනා නාට්‍යයට මේක සූදානම් කරපු එකක් කියලා මම මුලදි ම කිව්වානේ. ඉතින් මේ නාට්‍යයේ පිටපතේ හැටියට, ගීතය ගයන නළුවා වේදිකාවේ ඉදිරියට ඇවිත් ගයන වෙලාවට ප්‍රේක්ෂකාගාරයේ කෙනෙක් කවුද.......? කියලා අහනවා. ඔන්න ඕකයි ආන්දෝලනයට හේතුව.
මේකේ වචනත් ටිකක් හරි නෑ කියලා ඇත්තටම මුලදී ගුවන්විදුලියේ අනුමත වෙලා නෑ. නමුත් එවකට ගුවන්විදුලියේ සභාපති වෙලා හිටපු රිජ්වේ තිලකරත්න මහතාගේ ම මැදිහත් වීම නිසා මේ ගීතය ප්‍රචාරය වෙනවා. එදා මේ ගීතයේ කවුද.......? කියලා ඇහුවේ එවකට වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කරපු ටී. එම්. ජයරත්න මහතා.
Comentários