top of page

දුරස් වන්නට මේ ලෙසින්

  • May 5, 2017
  • 2 min read

හඬ සහ තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

පද : ආචාර්ය අජන්තා රණසිංහ

දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...// අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද...// පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුන ඒ කාලය මතකද... දුරස් වන්නට මේ ලෙසින්... අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද...// ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද...

මගේ මේ ගීයක වගතුග blog අඩවියේ ජයග්‍රාහී 50 වෙනි ලිපිය මම මේ පළකරන්නේ. ඉතින් මේ 50 වන ලිපියට මේ ගීතයත් එක්ක වටිනා දෙයක් මේක කියවන අයට ලබාදෙන්න මට හිතුණා. ඒ නිසාම මේ ගීතය මම තෝරාගත්තා.


බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේම අත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙනවා.


අපි කවුරුත් ඉතාම ආසාවෙන් රස වින්ද අදටත් ආදරේ කරන මේ ගීතයට තනුව නිර්මාණය වූ ආකාරය හරිම අපූරුයි. අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා දයාරත්න රණතුංගයන්ට දුන්නාම එතුමා කල්පනා කරනවා සෑහෙන්න. මේකේ කියවෙන්නේ වෙන්වෙලා ගිය පෙම්වතුන් යුවළකගේ පෙම්වතාට අතීතය මතක් වෙන හැටි. ඉතින් ඒක විරහ වේදනාවක්නේ. නමුත් දයාරත්න රණතුංගයන් කල්පනා කරනවා මේකෙන් සමාජයට යම් සේවයක් කරන්න ඕන කියලා. එතුමා සංගීත චිකිත්සාව (Music Therapy) හදාරපු අයෙක්. ඉතින් එතුමා කල්පනා කරනවා මෙවැනි ගීතයකින් වෙන්වුණ දෙදෙනෙක් නැවත එකතු කරන්නත් පුළුවන් නේද කියලා. ඒ නිසාම මේ ගීතයේ තනුවට එතුමා යොදාගන්නවා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන "කලාවතී රාගය".


කලාවතී රාගය මෙතන දී යොදාගන්නට විශේෂ හේතුව තමා ඒ රාගයේ එන ස්වර සංගතිවලට පුළුවන් සිතේ තිබෙන අවුල් සහගත ස්වභාවය යටපත් කරලා නිවී සැනසෙන තත්ත්වයට පත්කරන්න. ප්‍රේමයක් අහිමිව ගිය කෙනෙකුගේ හිතට දැනෙන සිතුවිලි යටපත් කරලා සාමකාමී සිතිවිලි ඇතිකරවලා දෙන්න ඕන නිසා කලාවතී රාගයට එතුමා යොමුවෙනවා. කලාවතී රාගය සාමාන්‍යයෙන් අහන්න හොඳ රාත්‍රී 9 ත් මධ්‍යම රාත්‍රී 12 ත් අතර කාලය. නිකමට වගේ මේ ගීතය ඒ වෙලාවට අහන්න බලන්න.


අනික දයාරත්න රණතුංගයන්ගේ පරිකල්පනය එහෙම නැත්තම් Imagination එක කොහොමද කියන එක විමසන එක හරි වටිනවා. පරිකල්පනය ගත්තාම එක ක්‍රමයක් තමා Impulsive Imagination එහෙම නැත්නම් ආවේගාත්මක පරිකල්පනය. මෙතන දී එතුමා දුක දැනෙන පද වැලට තවත් දුක දැනෙන්න විදියට තනුව නිර්මාණය කලා නම් ඒක Impulsive Imagination වෙනවා. හරියට අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. නමුත් එතුමා ඒ තැනට යන්නේ නැතිව Sentimental Imagination එහෙම නැත්නම් රසාත්මක පරිකල්පනය කියන තැනට යන්නේ. ඒ කියන්නේ වෙන් වුණ දෙන්නෙක් එකතු කරන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් තනුව නිර්මාණය කිරීම.


ඒක යොදාගත් විශේෂ තැනක් හැටියට අපිට අන්තරා කොටස් වල එන "අත්වැල් බැඳගෙන මං මාවත් දිගඔහේ ඇවිද ගිය කාලය මතකද" සහ "අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද" කියන කොටස් ගයලා යම් කාල පරාසයක සංගීත ඛණ්ඩයක් වාදනය කරන එක ගන්න පුළුවන්. ඒ සංගීත ඛණ්ඩය වාදනය කරන අතරෙ දී ඒ පෙම්වතාට ටිකක් කල්පනා කරන්න ඉඩ දීලා තියෙනවා. ඊට පස්සෙ ආයෙත් ඒ විදියටම ගයනවා. පැරණි රසවත් මතකය ආපහු ආවර්ජනය කිරීමට ඒ සංගීත ඛණ්ඩය යොදා ගැනීම සංගීත චිකිත්සාව හදාරපු ආචාර්යවරයෙකුගේ දක්ෂතාවක් නොවේද?




Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page