top of page
Search

සඳකඩපහණක - මාතර ආච්චි (1973)

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 3 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : වොලී නානායක්කාර

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

සඳකඩපහණක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැලැතුණු රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවී

යුගයෙන් යුගයට නොමියෙන දහමක

දිවියක පදනම මතු වෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුළක් මැළවෙද්දී//

දහසක් පෙති මත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙන යන බින්දු

ගව්වක් ඉහළක ගොනු කොට රඳවා

පොපියන දෙතොලක් එහි කැන්දූ//

අහසක් ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහු වුණු වැහි බින්දු

ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක

තවෙකෙක් ඈ වෙත හද රැන්දූ//

හද විල ඉපැදුණු කැකුළක් නොකලක

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්

සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද

එක්ටැම් මැදුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා...

සිටී බලා...

මේ ගීතය සිව් කුළුඳුල් නිර්මාණයක් හැටියට හඳුන්වන්න කැමතියි. මොකද මාතර ආච්චි චිත්‍රපටිය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ පළමු චිත්‍රපටි අධ්‍යක්ෂණය. එතුමාගේ බාල සොයුරු සුනිල් එදිරිසිංහයන්ගේ පළමු ගීතය. ඊළඟට වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය සහ මෙහි චරිතයක් නිරූපණය කල වොලී නානායක්කාරයන්ගේ පළමු ගේය පද රචනය. ආචාර්ය වික්ටර් රත්නායකයන් පවසන පරිදි මේ ගීතය පළවෙනි දවසේ සුනිල් එදිරිසිංහයන්ට පුහුණු කරවූවත් පටිගත කරන්නට බැරිවුණාලු. හේතුව එදාම තමා පළමුවරට සුනිල් එදිරිසිංහයන් මයික්‍රොෆෝනයක් ඉදිරිපිට ගීතයක් ගයා තිබෙන්නේ. ඊට පහුවෙනි දා තමයි මේ ගීතය කොහොමහරි පටිගත කර තිබෙන්නේ.


මේකේ තේරුම බලන්නනම් චිත්‍රපටියේ මේ ගීතය ගයන දර්ශනය ගැනත් යම් අවධානයක් කරන්න ඕන. ඒ චරිතයේ ප්‍රකාශනයක් ලෙස තමා මේ ගීතය අරුත් දැක්වෙන්නේ. චිත්‍රපටිය මමත් සම්පූර්ණයෙන් බලා නෑ. කතාව බලපු දවසක මේ ලිපිය සංශෝධනය කරන්න හිතාගෙන ඉන්නවා. එතකන් මම කැමතියි මේ ගීතය ගැන රත්න ශ්‍රී විජේසිංහයන් එක රූපවාහිනි වැඩසටහනක දී කරපු විග්‍රහය ඉදිරිපත් කරන්න.


මේ වීඩියෝ එක බැලුවොත් අපිට පේනවා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ඇස්වල කඳුළු තියෙනවා අවසානයේ දී. එතුමාට ස්වර්ණා මල්ලවාරච්චි මතක් වෙනවා. මම දන්න විදියට මේ කතාවේ එතුමාගේ පෙම්වතිය. ප්‍රේමය නටබුන් වී ගිය කෙනෙකුගේ ප්‍රකාශනයක් කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්.


Chorus එකේ තියෙන වචන වලින් අපිට පේන්නේ විචිත්‍රවත් වූ ප්‍රේමයක් ඇතිවුණ හැටි. ඒක හරියට සඳකඩපහණක කැටයම් දේදුනු වර්ණවලින් ඔප දමනවා. "කැලැතුණු රසයක පැන ආ බුබුලක් - අකුරු වැලක් දෙහදක ලියැවී" කියනකොට ප්‍රේමය උත්පාදනය වූ බව කියවෙනවා. "ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක - තවෙකෙක් ඈ වෙත හද රැන්දූ" කියන විට ඒකෙන්ම පේනවා වෙනකෙනෙක් ඇගේ හද අරගෙන ගිහින් තියෙන බව. ඉතින් චිත්‍රපටියේ කතා තේමාවට එය අදාල වන සේ ලියා තිබෙනවා.


මම වඩාත් කැමතියි මෙහි සංගීතමය පැත්ත ගැන කතාකරන්න. මේ පද රචනාව බැලුවාම සිව්පද ආකෘතියකට තමා රචනා කරලා තියෙන්නේ. මෙවැනි පද මාලාවකට සංගීතය යොදන එක ටිකක් අසීරු වැඩක්. නමුත් වික්ටර් රත්නායකයන් මේ ගීතයට තනුවක් යොදලා තිබෙනවා අර ආකෘතියට වෙන අර්ථකථනයක් එන විදියට. මෙහි පළමු වචනය ගයන්නේ යම් අන්තරයක් Rest එකක් තියලයි. ඒක වඩා හොඳින් අහලා බැලුවොත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. සංගීතයේ දී මෙය අපි හඳුන්වන්නේ අවග්‍රහය කියලා. පළමු මාත්‍රාව නිශ්ශබ්දයි. මේ ගීතයේ බොහෝ වචන ආරම්භ වෙන්නේ මේ ආකාරයටයි කියලා හොඳින් ඇසුවොත් ඔබට වැටහේවී. ඒ නිසා අර හතරපද ආකෘතියෙන් එතුමා සංගීතඥයෙක් හැටියට මිදෙනවා. අනිත් කාරණය තමා වික්ටර් රත්නායකයන් වයලීනය Counterpart එකක් විදියට යොදා ගෙන ඇති ආකාරය. Counterpart එකක් කියන්නේ එක සංගීත භාණ්ඩයක් තවත් හඬකට උපකාරී වන අයුරින් වාදනය කිරීම. ඒ නිසා මෙහි දී පසුබිමින් ඇහෙන සංගීත ඛණ්ඩවලින් නටබුන් වූ ප්‍රේමයක් ඇති අයෙකුගේ මනසේ ඇතිවන හැඟීම් වඩාත් උද්දීපනය කෙරෙනවා.


මාතර ආච්චි චිත්‍රපටිය ගැන සැකෙවින් :

  • තිරගත වූ දිනය – 1973 ජනවාරි 11

  • ඉදිරිපත් කිරීම - සීීමාසහිත දෙවිඳු චිත්‍රපට

  • නිෂ්පාදනය – මහින්ද දිසානායක, ෂෙල්ටන් කරුණාරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, පියදාස සමරවික්‍රම, දයානන්ද හෙට්ටිආරච්චි

  • කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ

  • කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා

  • කැමරා සහාය – වී. ඇම්. හේමපාල, ඩී. ඇම්. අතපත්තු, කේ.ඩී. දයානන්ද

  • කලා අධ්‍යක්කෂණය - තලංගම ජයසිංහ, ලයනල් දිසානායක

  • වේශ නිරූපණය – හපුආරච්චි වෛද්‍යසේකර

  • සංස්කරණය – අශෝක නිශ්ශංක

  • කාර්මික සහාය – මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග

  • රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු

  • කොණ්ඩා සැරසිලි – ක්‍රිස්ටි ප්‍රනාන්දු

  • චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය, කැලණිය

  • නිෂ්පාදන කළමනාකරණය - ලක්දාස නිශ්ශංක, පර්සිවල් පෙරේරා, ආතර් ගජධීර, එච්. පී. චන්ද්‍රසේන

  • සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)

  • ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, වොලී නානායක්කාර (ප්‍රථම වරට) සිරි කුලරත්න (ප්‍රථම වරට)

  • ගීත ගායනය – වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරසිංහ (ප්‍රථම වරට)

  • ගීත සංඛ්‍යාව - 04

ගීත :

  • සඳකඩ පහනක කැටයම් - සුනිල් එදිරිසිංහ (පද - වොලී නානායක්කාර)

  • අඳුර බිදින්නට රැයක් – වික්ටර් රත්නායක (පද - ප්‍රේමකීර්ති ද අල්විස්)

  • රන්දේදුනු රන් පාටින්- මිල්ටන් මල්ලවආරච්චි (පද - සිරි කුලරත්න)

  • සඳුන් සිහින සිහිල් අරණ – වික්ටර් / සුජාතා (පද - සුනිල් ආරියරත්න) (ආරියරත්නයන්ගේ ප්‍රථම චිත්‍රපට යුග ගීතය)

  • ගීත පොත් – ආනන්ද පොත් හල - මරදාන

  • ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම

  • නිෂ්චල ඡායාරූප – ක්‍රිස්ටි පෙරේරා, ශාන්ත ශ්‍රීලාල් පෙරේරා, විල්බට් ප්‍රනාන්දු

  • ප්‍රචාරක කළමනාකරණය – ජොනී ඩී. හුඩ්, ටී. ඇන්. ඩීන්

නළු නිළියන් :

  • වොලී නානායක්කාර

  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ

  • මාලිනී ෆොන්සේකා

  • ස්වර්ණා මල්ලවආරච්චි

  • නීටා ප්‍රනාන්දු

  • ජෝ අබේවික්‍රම

  • දෙනවක හාමිනේ

  • ක්‍රිස්ටි පෙරේරා

  • කල්‍යාණි කරුණාරත්න

  • සී. ඒ. ආර්. මරික්කාර්

  • රූබි ද මෙල්

  • සැමුවෙල් රුද්‍රිගු

  • බන්දු මුණසිංහ

  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

  • යූ. ඒ. සරණපාල

  • දොන් සිරිසේන

  • අශෝක හේවාවිතාරණ

  • ජෝ ලිවේරා

  • රෝහණ හෙට්ටිආරච්චි

  • ධර්මදාස කුරුප්පු

  • චන්ද්‍රා කළුආරච්චි

  • සිරි කුලරත්න

  • පර්ල් වාසුදේවි

  • එඩී ජූනියර්

  • එම්. ඒ. සිමියොන්

  • ධර්ම ශ්‍රී මුණසිංහ

හඳුන්වා දෙන චරිත:

  • සරත් ගුණරත්න

  • ෂෙල්ටන් කරුණාරත්න

  • කුවින්ටස් වීරකෝන්

  • අග්‍රා පෙරේරා

  • චන්ද්‍රා ගුරුගේ

  • කේ. ටී. පෙරේරා

  • ප්‍රෑන්ක් ඩබ්ලිව්. පෙරේරා

  • විමලරත්න බුලේගොඩ

  • ෆ්‍රෙඩී අබේසුන්දර

  • ෂෙල්ටන් ඩයස්

  • ආර්. පී. සිරිවර්ධන

  • නෙවිල් පෙරේරා

  • පැටිමා ප්‍රනාන්දු

  • ටී. එන්. මොහොමඩ්

  • ලයනල් දිසානායක

  • කුලසිරි ද සිල්වා

  • එස්. ඩී. එස්. අප්පුහාමි

  • කේ. ඒ. මිල්ටන් පෙරේරා


Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page