top of page
Search

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 2 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ.. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ.. පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ.. මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ.. ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ.. උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ.. අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ.. චන්ද්‍ර මණ්ඩලේ... මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ.. මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ.. හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ.. පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ.. චන්ද්‍ර මණ්ඩලේ...

මේ ගීතය රචනා කලේ රත්න ශ්‍රී විජේසිංහයන්. එතුමාගේ ගමේ හිටියා වඩු බාස් කෙනෙක් වඩුමඩුවක් පවත්වාගෙන ගිය. ඔහුගේ බිරිඳ මියගිහින්. එක දුවයි සිටියේ. ඇය ඉතාම ලස්සන තරුණියක්. අම්මත් නැති මේ දුව හදාගන්න ඔහු ගොඩක් මහන්සි වුණා.


මේ කාලයේ රත්න ශ්‍රී විජේසිංහයන් පාසල් යනවා. එතුමා නේවාසිකව ඉගෙනගන්නේ. සති දෙකකට මාසෙකට වරක් එතුමා ගමට යනවා. දවසක් ගමට යනකොට එතුමා අර වඩුමඩුවට යනවා. හැබැයි එදා අර ලස්සන දුව පේන්න හිටියේ නැහැ. ඒ වඩු බාස් උන්නැහේ කියනවා, අනේ මගේ දුව ඊයේ පෙරේදා ගමට ආපු රස්තියාදුකාර කොල්ලෙකුට රැවටිලා පැනලා ගිහින් කියලා. මේක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතට හරියට වදිනවා.


ඔය සිදුවීම එතුමාගේ හිතේ රැඳෙනවා කාලයක්ම. කාලය ගෙවීගිහින් එතුමාට කියවන්න ලැබෙනවා ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නමැති මහා රුසියානු ලේඛකයාගේ තානායම්කරුවා නමැති කෙටි කතාව. එහි සඳහන් වෙන්නෙත් මේ සිද්ධියමයි. නොදන්නා අයට දැනගන්න ඒ කතාවත් සඳහන් කරන්නම්.


රුසියාවේ එක්තරා පළාතක තානායමක් පවත්වාගෙන යන මහළු පියෙක් ඉන්නවා. ඔහුට ඉන්නවා ඉතාම ලස්සන දුවෙක්. ඇගේ නම දුන්යා. දවසක් නගරයේ ඉඳන් ආපු ජේත්තුකාර තරුණ සිටුවරයෙක් මේ තානායමේ නවාතැන්ගන්න එනවා සතියක් විතර. අවසානයේ ඔහු ඇයව රවටාගෙන යනවා. මහළු පියා ඇයව සොයාගෙන ගමෙන් නගරයට යනවා. නගරයට ගිහින් අර සිටුවරයාගේ මන්දිරය ඉදිරියට ගිහින් විමසනවා තම දියණියව. ඔහුට දියණිය දකින්නට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ජනේලයෙන් සල්ලි මිටියක් විසිකරනවා. මේ මහළු පියා ඉතා පිළිකුලෙන් එය පාගා දමා ආපසු ගමට එනවා. ඇවිත් ගමේ අයට කියනවා. මෙහෙම පැනලා ගිය එකම කෙනා දුන්යා වෙන්න බෑ. තවත් අය ඇති. හැබැයි අද ඒ අය සේද සළු ඇන්දාට හෙට පාර අතුගාන්නත් බැරි නැහැ කියලා.


ඉතින් මේ සිදුවීම් දෙකම කැටිකරලා තමයි රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්නේ. හැබැයි එතුමාට පොඩි ගැටළුවක් පැන නගිනවා කොහොමද මේ තාත්තාවත් දුවවත් සම්බන්ධකරන්නේ කියලා. ඒ සඳහා එතුමා පාදක කරගන්නවා සඳ සහ හාවා. හාවා හාවියක් කරලා තමයි මෙහි ලියැවෙන්නේ. දියණියව අර්ථ දැක්වෙන්නේ හාවියගෙන්. පසුකාලීනව ලූෂන් බුලත්සිංහලයන් එතුමාට කියලා තියෙනවා, "මෙච්චරකල් හඳේ හිටපු හාවා, හාවියක් වුණේ ඔබතුමා අතින්" කියලා.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page