top of page
Search

ආල වඩන සුවඳ සබන්

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 2 min read

හඬ : අමරසිරි පීරිස්

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ආල වඩන සුවඳ සබන් තනන ලියේ මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ දෑල ගලන දාඩිය උල්පත සරියේ ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ

මීරි තෙපුල් නැති දත උල් තුන් කුදයේ හීන් සැරේ කුර ගා ගෙට ඇදෙන්නියේ දූලි වැදුණු බාල බිළිඳු වඩන්නියේ බාල සබන් උලා දියෙන් දොවන්නියේ ආල වඩන සුවඳ සබන් තනන ලියේ... සීත සඳුන් සුවඳ සබන් තනන්නියේ නානු නොගා ළැම ගෝමර තවන්නියේ සාර සියක් මල් නෙළුවත් මහන්සියේ රේණු සුවද හිමි නැති දේවතාවියේ ආල වඩන සුවඳ සබන් තනන ලියේ...

මේ ගීතය රචනා කරපු රත්න ශ්‍රී විජේසිංහ මහතා, උණවටුන ගුරු විද්‍යාලයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරන කාලයේ තමා ලබපු අත්දැකීම් ඇසුරින් ලියා තිබෙනවා. උණවටුන ගුරු විද්‍යාලය ආසන්නයේ තමයි නිදහස් ආයෝජන වෙළඳ කලාපය පිහිටා තිබෙන්නේ. මේ කලාපය ඇතුළේ තිබුණා විශාල කර්මාන්තශාලාවක්. ඒකේ හදන්නේ සබන් වර්ග හා සුවඳ විලවුන්. ඉතින් එතුමා හැමදාම රාජකාරියට යන එන බස් රථයේ ම තමයි, මේ කර්මානත්ශාලාවේ සේවය කරන තරුණියන් සේවයට යන්නේ. ඒ කාලයේ තිබුණේ මිටි බස්. ඒවායේ හිටගෙන යනවා නම් කුදට නැවිලා යන්න ඕන. ඒ නිසා තමයි "තුන් කුදයේ" කියන වචනය එක් කරලා තියෙන්නේ.


ඉතින් සුවඳ සබන් සුවඳ විලවුන් තනන, ෆැක්ටරියේ ඒවා නොගා දහඩිය හෙලන මේ අසරණ ළඳුන් අරබයා තමයි. මේ ගීතය රචනා වෙන්නේ. "මීරි තෙපුල් නැති දත උල් තුන් කුදයේ" මෙතන අදහස් වෙන්නේ, මිහිරි බසින් කතා නොකරන කොන්දොස්තරගේ රළු වචන අහන ගමන් බස් එකේ තුන් කුදයේ නැගී හැමදාම වැඩට යන එකයි. "දූලි වැදුණු බාල බිළිඳු වඩන්නියේ - බාල සබන් උලා දියෙන් දොවන්නියේ" කියන එකෙන් අදහස් කරන්නේ තමන් ෆැක්ටරියේ මොන තරම් සුවඳ සබන් හැදුවත් ගෙදර ගිහින් තමන්ගේ දරුවන් නාවලා පිරිසිදු කරන්න පාවිච්චි කරන්නේ බාල සබන් කියන එකයි.


ප්‍රාග් ධනයෙන් ශ්‍රමය සූරා කෑම ගැන කතා කරන මේ ගීතය සඳහා රත්න ශ්‍රී විජේසිංහයන් භාවිතා කරන්නේ රත්නවල්ලි කවි වල එන වර්ණනා ශෛලියයි. හැබැයි මෙතන එහි විලෝමය භාවිතා කරන්නේ. මේ ෆැක්ටරියේ වැඩ කරන ළඳුන්ගේ කටුක භාවය ගැන තමා වර්ණනා කෙරෙන්නේ. මේකට බටහිර විචාර කලාවේ කියන්නේ, Dramatic Irony කියලා. සිංහලෙන් කියන්නේ "නාටකීය උත්ප්‍රාසය" කියලා. උත්ප්‍රාසය අර්ථ දක්වන්නේ, "වස්තුවක සැබෑ ස්වරූපයත්, එහි වර්තමානයේ ඇති ස්වරූපයත් අතර පරස්පරයෙන් ඇති කරන හැඟීම." ඉතින් මෙතන ඒක ඇතිවෙන්නේ මෙහෙමයි, රත්නවල්ලි කවි වල කාන්තාවකගේ රූපශ්‍රීය වර්ණනා කිරීමක් තිබෙන්නේ. නමුත් මෙතන වර්ණනා කරන්නේ, කටුක භාවය ගැනයි, එතකොට වර්ණනා දෙකේ කොච්චර ලොකු වෙනසක් ඇතිවෙනවාද? දැන් ඔබට වැටහෙනවා ඇති.


ඉතින් මේ Dramatic Irony කියන එක තවත් තීව්‍ර කරන්න කේමදාසයන් ඉතාම කඨෝර සංගීතයක් භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගීතය අහලා රසවිඳින්න කියන එක නෙමෙයි, සංගීතයෙන් කියන්නේ මේ ප්‍රශ්නය දිහා තුන්වන ඇසකින් බලන්න කියලයි.

コメント


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page