සීත රෑ යාමේ - දුලීකා (1974)
- මාධව විජේසේකර
- May 3, 2017
- 3 min read



සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ රැඳුණා...
දුලීකා... දුලීකා...
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ...
මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ...
කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා : කවුද මේ ගීතය ගයන්නේ?
ප්‍රේමසිරි කේමදාසයන් : සනත් නන්දසිරි.
පෙරේරා මහතා : අපෝ සනත්ට මේ ගීතය කියන්න බෑ.
කේමදාස මහතා : එහෙනම් කවුද හොඳ? ජෝතිපාල ද ?
පෙරේරා මහතා : මේ ගීතය කියන්න ලංකාවේ කෙනෙක් නෑ.
කේමදාස මහතා : හොඳයි මම සනත්ගේ ශෛලිය වෙනස් කරලා හරි කියවන්නම්කෝ.
දුලීකා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය නිර්මාණය වෙන අතරේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතාත්, සංගීත අධ්‍යක්ෂණය කල ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතර ඇති වූ දෙබසයි ඒ. එවකට සනත් නන්දසිරි මහතා භාරතයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් තබ්ලා වාදනය හා ගායනය සඳහා විශාරද උපාධි දෙකක් ලබා මෙරටට පැමිණ ගායනා කලේ ද එතුමා ඉගෙන ගත් උත්තර භාරතීය රාගධාරී ශෛලියේ ගීත වීම නිසා එදා පෙරේරා මහතාට එවන් අදහසක් පහල වන්නට ඇති.
කෙසේ නමුත් පෙර පුහුණුවීමක් බැලීමට සඳහා කොළඹ 7 පිහිටි නිවසකට පෙරේරා මහතාට කේමදාසයන් ඇරියුම් කරන අතර පෙරේරා මහතා එදින ආවේ එතරම් කැමැත්තකින් නොවේ. නමුත් ගීතය එක්වරක් එතුමා ඉදිරියේ සනත් නන්දසිරි මහතා ගැයීමෙන් අනතුරුව සතුටින් නැගී සිටි පෙරේරා මහතා "කේමා.... උඹ හරියට හරි. සනත්ට මේක කියන්න පුළුවන්. අපි මේක කරමු" යැයි පැවසුවා.
දැන් ගීතය පටිගත කරන්න ලෑස්ති කරගත්තා. එකල බොහෝ විට ගීත පටිගත කරන ලද්දේ රාත්‍රී කාලයේ දීයි. අද වගේ තාක්ෂණය දියුණු නැති යුගයක Music Tracks වෙනම පටිගත කර, එයට ගායනය වෙනම කිරීමේ සිරිතක් එදා තිබුණේ නැහැ. ගායනය සහ වාදනය එකවිට කරන අතර පොඩි හරි වැරදීමක් වුණොත් නැවත මුල සිට ගීතය පටිගත කරන්න ඕන.
එදා එච්. ආර්. ජෝතිපාල මහතාත් ස්ටූඩියෝ එකට ඇවිත් හිටියා. ඒ මේ ගීතයෙන් පස්සේ ආදර මල් පවනේ ගීතය ගයන්න.
දැන් මේ ගීතය පටිගත කෙරෙනවා. ඒ වෙලාවේ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා කලබලෙන් වගේ දුවගෙන එනවා. "කේමා.. මේකේ කෑල්ලක් අඩුයිනේ". "ඇයි මොකද්ද ප්‍රශ්නේ?" "දුලීකා කියලා කියන්න එපැයි අනිත් අයත්. ඒක නෑනේ." මේ චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් දර්ශනය රාත්‍රී සමාජ ශාලාවක විජය කුමාරතුංගයන් ගායනා කරන ආකාරයට තමා යොදලා තිබුණේ. "දුලීකා" යනුවෙන් විජය කුමාරතුංගයන් කියනවිට එතැන සිටින අනෙක් සියළු දෙනාත් "දුලීකා" යනුවෙන් අත්වැල් ගායනයක නිරතවෙන රූපරාමුවක් තමා තිබුණේ.
දැන් මොකද කරන්නේ? එතකොට වේලාව මධ්‍යම රාත්‍රී 12ට පාන්දර 1ට විතර ඇති. ඒ වෙලාවට කොහෙද වෙනත් ගායක ගායිකාවෝ හොයන්නේ. අවසානයේදී කේමදාසයන් එවිට වාදක මණ්ඩලයේ සිටි ගිටාර් වාදකයන් තිදෙනාට මෙන්න මෙහෙම කියනවා. "මිස්ට නෙවිල්, දුලීකා කියලා කියන්න. අර්නස්ට් ඔයත් එහෙම කියන්න. කුරේ ඔයත් කියන්න". අවසානයේ දී ගීතය පටිගත වෙනවා. අදටත් නොමැකී තිබෙන මේ ගීතයේ එදා ගිටාර් වාදනයෙන් සහ ගායනයෙන් සම්බන්ධ වුණේ, අපේ රටේ දක්ෂම ගිටාර් වාදකයින් තුන්දෙනෙක්.
නෙවිල් ප්‍රනාන්දු, අර්නස්ට් සොයිසා සහ ගුණසේන කුරේ ඒ තිදෙනායි.
දුලීකා චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1974 පෙබරවාරි 25
ඉදිරිපත් කිරීම – ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය – ඊ. ඒ. පී. එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – කේ. ඒ. ඩබ්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
ක්‍රියාකාරි කැමරා ශිල්පී – ඇම්. ඩී. ඇන්තනි
සහාය - වී. ගනේෂන්, එච්. මාටින්
සංස්කරණය – එම්. පී. රූපසේන
සංස්කරණ සහාය – කාලිංග ද සිල්වා, ඩී. ජේ. අප්පුහාමි
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සහාය ශබ්ද පරිපාලනය – ඩී. එම්. පුංචිහේවා, එම්. ඒ. ඒබ්‍රහම්, ලෙස්ලි ප්‍රේමසිරි
සටන් පුහුණුව - පියදාස විජේකෝන්
රසායනය – අයි. ඒ. ජොහාර්
සහාය රසායනය – එස්. එන්. සමරසිංහ, එම්. එම්. ක්‍රිස්ටෝපර්
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
නිෂ්පාදන පරිපාලනය – රාජා ජෝසුවා
නාමාවලිය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය – ඊ. ඒ. පී. ෆිල්ම්ස්
ගීත සංඛ්‍යාව - 08
ගීත තැටි - ජෙම්ටෝන්
ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස්
ගීත
ආදරේ මේ ආදරේ – ක්‍රිස්ටීන් ගම්ලත් – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සීත රෑ යාමේ අඳුරේ - සනත් නන්දසිරි – පද - සුනිල් ආරියරත්න
ආදර මල් පවනේ – එච්. ආර්. ජෝතිපාල – ලතා වල්පොල – පද – ධර්මසිරි ගමගේ
රජ වැඩකාරයෝ අපි - එච් ආර්. ජෝතිපාල – පද - සුනිල් ආරියරත්න
ජැක් ඇන්ඩ් ජිල් - ෆේරඩී සිල්වා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගිගිරි ගිගිරි හඬින් – ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල – පද – කරුණාරත්න අබේසේකර
සුවඳ කැකුළු මලක නටන – එච්. ආර්. ජෝතිපාල – පද - ධර්මසිරි ගමගේ
නළු නිළියන්
විජය කුමාරණතුංග
බියුලා ඩයස් කරුණාරත්න
එඩී ජයමාන්න
සුමනා අමරසිංහ
රෙක්ස් කොඩිප්පිලි
අනූෂා ගීතාංජලී
ගැමුණු විජේසූරිය
ජෝශප් සෙනෙවිරත්න
ඔස්වල්ඩ් ජයසිංහ
සම්පත් ශ්‍රි නන්දලෝචන
ඩී. ආර්. නානායක්කාර
ෆේරඩී සිල්වා
දොන් සිරිසේන
පියදාස විජේකෝන්
යූ. ඇස්. ඒ. සරණපාල
ජයන්තදාස් පෙරේරා
බී. ඇස්. පෙරේරා
හර්බට් අමරවික්‍රම
සුසිලා ගුණසේකර
ලැටීෂියා පීරිස්
අග්‍රා සජීවනී
ස්ටැන්ලි ද සිල්වා
ඇම්. හසන්
මංගල දර්ශනය රාජගිරිය ඉම්පාලා සිනමා ශාලාවේදී පැවැත්විණ.
සිලෝන් තියටර් සමාගමේ සිනමා ශාලා 17 ආරම්භකව ප්‍රදර්ශනය ඇරැඹීය
Comments