මට ගමට එන්න ගමට එන්න
- මාධව විජේසේකර
- May 3, 2017
- 2 min read



මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න...//
මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි හිස බරයි මගේ අතමිට කකියයි එන පාළොස්වක පෝයදාට හඳ වාගේ ඔබ දකින්න අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න
මට ගමට එන්න ගමට එන්න...
කළු දුමින් වැසුණු ගම්දොර නොපෙනෙයි මං වැලහෙයි පය මරු වැල් පැටලෙයි ඇන්ටෙනා තුරෙන් තුර පසු කර පියසි උඩින් ඉගිල්ලෙන්න අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න...
1990 දශකයේ දී රත්න ශ්‍රී විජේසිංහයන් එතෙක් ගුරු විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයෙන් ඉවත්වෙලා, වෙනත් රැකියාවක් සඳහා කොළඹට එනවා. නමුත් කොළඹ ජීවිතයට හැඩගෙන්න එතුමාට ගොඩක්ම අමාරුවෙනවා. මොකද ගාල්ල වගේ ප්‍රදේශයක ඉඳලා ආපු එතුමා වගේ කෙනෙකුට මේ කොන්ක්‍රීට් වනයේ කර්කෂ බව ඇතුළේ ඉන්න එක කොහොමටවත් ම කරන්න බෑ. ඒ නිසා ඉක්මනින්ම ගමට යන්න ඕනෑ කියන හැඟීම එතුමාගේ හිතට වධ දෙනවා.
මේ කාලයේ දී ම විජේසිංහයන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පදනමේ දේශකවරයෙක් ලෙසත් කටයුතු කරනවා. සාහිත්‍ය රසාස්වාදය වැනි විෂයන් ගැන. ඉන්දිකා උපමාලි, සමන්ත පෙරේරා වැනි කේමදාසයන්ගේ විශිෂ්ඨ ගෝල බාලයෝ ඒ කාලේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ගමට යන්න තියෙන දැඩි වුවමනාව, එතුමා තමන්ගේ බෝඩිං කාමරයේ ඉඳගෙන ලියලා ප්‍රේමසිරි කේමදාසයන්ට දෙනවා.
කේමදාසයන්ගේ නිවසේ තමයි මේ ගීතයට තනුව නිර්මාණය කෙරෙන්නේ. එතුමා මේ තනුවෙන් සම්ප්‍රදායික ගීත කලාව බිඳ හෙලනවා. මේ ගීතය හොඳින් ඇහුවාම ඔබට අමරසිරි පීරිස් මහතාගේ කටහඬ දෙපාරක් ඇහෙනවා. එහෙම යොදලා තියෙන්නේ, මේ තරුණයාට ගමට යන්න තියෙන හදිස්සිය, ඒ අවංක හැඟීම වඩාත් ඉස්මතුවෙන්න.
ඉතින් අමරසිරි පීරිස් මහතා දෙපාරකට මේ ගීතය ගැයුවා කියලා එක්තරා රූපවාහිනී වැඩසටහනක කිව්වා මතකයි. ඒක කලෙත් අත්හදාබැලීමක් වශයෙන්. ඉස්සෙල්ලාම සාමන්‍ය තනුවට අනුව ගීතය ගයලා දෙවනවරට වෙනත් හඬ පරාසයකින් (Scale) ඒ කොටස් ගායනා කරලා තියෙනවා. බැලූ බැල්මට ම දෙන්නෙක් ගයනවා වගේ ඇහුණට ඒ හඬවල් දෙකම අමරසිරි පීරිස් මහතාගේ.
අනෙක් විශේෂ කාරණාව තමයි, කේමදාසයන් සංගීත වාදන ඛණ්ඩ සඳහා යොදාගෙන ඇති නාද (Tones). සාමාන්‍යයෙන් Keyboard එකෙන් ලේසියෙන් ගීතවලට යොදා නොගන්නා, අපිට අහන්න බැරි ඉතාම කර්කෂ නාද තමා එතුමා මෙහි දී භාවිතා කරලා තියෙන්නේ. ඒකෙනුත් පෙන්නන්නේ නගරයක ඇති අමිහිරි බව.
Comments