පවනට සැලෙනා
- මාධව විජේසේකර
- May 3, 2017
- 3 min read



පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...
මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ මා ඇකයේ සිට පොඩි පුතු හඬනා ඒ දුක්‌බර හඬ ඔබට ඇසෙයිදෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ...
මේ ගීතය තමා ධර්මසිරි බණ්ඩාරනායක මහතා රචනා කරපු එකම ගීතය. මේ සිංදුව එතුමා ලියුවේ නවසිය හැත්තෑවේදි විතර. ටී. එම්. ජයරත්න මහතා එකල එතුමාගේ ඒකාධිපති නාට්‍යයේ සංගීත ශිල්පියෙක් ලෙස ආචාර්ය කේමදාසයන් යටතේ වැඩකළා. එතුමා කොහෙත්ම ගීත රචනයට පෙළඹී සිටියේ නැහැ. ඒත් ටී.එම්. ජයරත්නයන් දවසක් කිව්වා සරල ගීයකට රචනාවක් අඩුයි ලියාදෙන්න කියලා. ඉතින් එතුමා මේ ගීය ලියලා දුරකථනයෙන් කේමදාසයන්ට කිව්වා. කේමදාසයන් දුරකථනයෙන්ම පදපෙළ ලියා ගත්තා. පසුව තනුවක් යෙදුවා. මාසෙකට විතර පස්‌සෙ ඒකාධිපති පුහුණුවකදී ටී.එම්. ඉදිරිපිටදීම මාස්‌ටර් කේමදාස ගිටාරය වයමින් මේ ගීය ගැයුවා. එතුමාටත් හරිම සතුටක් ඇතිවුණා තමාගේ පළමු ගීය ටී. එම්. ගැයීම සහ කේමදාසයන් සංගීතවත් කිරීම ගැන.
තනුව යොදපු හැටිත් අපූරු කතාවක් තියෙනවා. ගිටාරයක් පමණයි මුළු ගීතය පුරාවටම සංගීත භාණ්ඩයක් ලෙස වාදනය වෙන්නේ. කේමදාසයන් කවදාවත් ගෙදරින් සංගීත ස්වර ප්‍රස්තාරයක් ලියාගෙන ගිය කෙනෙක් නෙමෙයි. තනුව හදන්නේ මැදිරියේ දීමයි. සමහරවිට තමාම හදලා මාස ගණන් පුරුදු කරපු තනුව එක මොහොතෙන් වෙනස්කරනවා. ඉතින් එදත් කිසිම තනුවක් නැතුව මේ ගීතය පටිගත කරන්න එතුමා යනවා ගුවන් විදුලි සංස්ථාවට. යනකොට ටී.එම්. ජයරත්නයන් ගිහින් ඉන්නවා. එතුමාගේ මුහුණ හරි නෑ. "ඇයි මොකද?" කියලා මාස්ටර් අහනවා. "හරි වැඩේනේ මාස්ටර්, සංගීත ශිල්පීන් කවුරුත් නැහැ. ගිටාර් ගහන කුරේ විතරයි ඉන්නේ" කියා ජයරත්නයන් කියනවා. "ඉතින් මොකද්ද ප්‍රශ්නේ? කුරේ ඉන්නවානේ? ඒ ඇති." මාස්ටර්ගේ හැටි දන්නා ටී.එම්. ජයරත්නයන් එතනින් එහාට මුකුත් කියන්න ගියේ නැහැ. මැදිරියට ගිය මාස්ටර් ගිටාර් වාදන ශිල්පී ගුණසේන කුරේ මහතා සමග තනුව යොදා ගීතය සාදා ඉවරකරනවා.
මේ ගීතය රචනා කල ධර්මසිරි බණ්ඩාරනායකයන් මෙවැනි අදහසක් පුවත්පතකට කියා තිබෙනවා.
"මේ ගීතය මා අතින් රචනා වුණේ. මගේ ජීවිතයේ ඇතිවූ කිසියම් කම්පනයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ කම්පනය නිසා ලැබූ අත්දැකීම පාදක වුණා මේ ගීයට. මේ වගේ සිදුවීමක් වුණොත් එය කොතරම් ඛේදනීයද කියන එක සිතා බැල්මක් කිරීමෙන් පහළ වූ ගී පද රචනයක් කියල කිව්වොත් නිවැරැදියි.
සැමියා... තම දරුවා නළවනවා. බිරිඳ තවකෙකුගේ පහස ලබනවා. දරුවා නළවද්දී පියා තුළ කිසිදු වෛරයක් ද්වේෂයක් උපදින්නේ නැහැ. මවගේ කුසින් බිහිවූ දරුවා නැළවෙන්නේ පියාගේ ඇකයේ. දරුවා පියාගේ ඇකයේ නැළවෙද්දී මව... වෙන කෙනකුගේ ඇකයේ සිට ආදර බස් දොඩනවා. අලුත් පෙම්වතාගේ ඇකය ඇයට මල් ඇතිරූ සුවයහනක්... ඈ ඒ යහනේ අනුරාගී දෙනෙතින්... පෙම්වතා සමග පෙම් කරද්දී... පියා ඇකයේ සිටින පුංචි පුතා මව් සෙනෙහස ඉල්ලා හඬා වැටෙනවා. ඒත් සුරතල් දරුවාගේ දුක්‌බර හැඬුම් මවට ඇසේවිද... නෑ. ඇය අසම්මත පෙමකින් අන්ධවෙලා. දරුවා ඇකයේ තබාගෙන මේ ආදරණීය පියා ගයන්නේ නැළවිලි ගී නොවේ. හදවතේ විලාපයයි ඔහු ගයන්නේ.
ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා කිරට හඬනවා. ඒත් පියෙකුගේ ලේ කිරි බවට හැරෙනවද... නැහැ. පුංචි පුතා කොතරම් හැඬුවත් පියාට ලේ කිරි කර පොවන්න වාසනාවක් නෑ. ඔහු අසරණයි. ඒ අසරණ වූ ඇස් දෙකෙන් පුංචි පුතා දෙස ඔහු බලා සිටිනවා. කිsරිකැටියාගේ පුංචි සිරුර කඳුළුවලින් පිරිලා. තාත්තාගේ කඳුළුවලින් පුංචි පුතා නෑවිලා. මවකට කිරි එරුණත් පියෙකුගෙන් වැගිරෙන්නේ කඳුළු විතරයි. ඒ කඳුළු මවගේ කිරිවලට සම කරන්න පුළුවන්ද?
මේ ගීතය අදත් අප ශ්‍රවණය කරනවා. ඒක සතුටක්. මේ ගීය ලියූ දා සිට මේ දක්‌වා මගේ අතින් තවත් ගීයක් රචනා වුණේ නැහැ. මේ මා ලියූ පළමු සහ අවසන් ගීතයයි. මේ ගීයට අබිනික්‌මන කියා නම් තබන්න මම කැමැතියි. ස්‌ත්‍රියක් පුරුෂයා හැර ගියත්, පුරුෂයා ස්‌ත්‍රිය හැර ගියත් ඒ දෙකම අබිනික්‌මන් කිරීමක්. අවසානයේ ඉතිරි වන්නේ මතකය විතරයි. මරණ මංචකය දක්‌වාම මේ මතකය හිත්වල රැඳෙනවා. එවන් සංකල්පයකින් තමයි මේ ගීය මගේ අතින් රචනා වුණේ.
මේ වගේම ගීයක් තමයි "හංස විලක්" චිත්‍රපටයට ධර්මසේන පතිරාජයන් අතින් ලියෑවුණේ. හෙමින් සැරේ... පියා විදා... සුමුදු සයනේ... සිනිඳු ඇතිරිල්ලේ... කියල ඒකෙත් දරුවන් ගැන කියෑවෙන ශෝචනීය පුවතක් තමයි දිග හැරෙන්නේ."
Comments