top of page
Search

තුංමං හන්දියේ

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 2 min read

හඬ හා තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

තුංමං හන්දියේ අද මා පමණයි

අපෙ පන්තියේ වෙන කවුරුත් නැහැ

මගෙ නැති බැරිකම් අඩුවක් වී නම්

තරහ වුණත් මම තරහා නෑ //


අනන්ත කරදර කඳුලේ දියකර

මට ඔබ දුන් දුක වැඩියක් නෑ

බිඳ දා ගියමුත් අපෙ ලෙන්ගතුකම

ඔබ ගැන අහිතක් හිතන්න බැහැ


තුංමං හන්දියේ...


පෙරහැර ගිය පසු හිත හිත ඔබ ගැන

හැඬුවා හිස බිත්තියේ ගසා

සංසාරේ හැටි ඔහොමයි කියලා

කියන්නේ ඇයි මට හිනා වෙලා


තුංමං හන්දියේ...


සනත් නන්දසිරි මහතාගේ ගම් ප්‍රදේශයේ පන්සලක් තියෙනවා. කවුරුත් එයට කියන්නේ කන්දේ විහාරය කියලා. අවුරුද්දකට වරක් මේ පන්සලෙන් පෙරහැරක් පවත්වනවා සංක්‍රාන්ති පෙරහැර කියලා. ඉතින් මුළු ගමම එනවා මේක බලන්න. සනත් නන්දසිරි මහතාත් එනවා මේක බලන්න. මේ වෙනකොට එතුමා කලා ක්ෂේත්‍රයටත් ඇවිත්. එතුමාගේ පාසල් මිතුරු මිතුරියෝත් එනවා මේ අවස්ථාවට.


මේ අතරේ දී එනවා සනත් මහතාගේ පාසල් මිත්‍රයෙක්. ඔහු පාසල් යන කාලයේ සිටම ආදරය කරපු යුවතියක් හිටියා ඒ පාසලේම. ඇය ධනවත් පවුලක කෙනෙක්. මේ මිත්‍රයා තරමක දුප්පත් පවුලක කෙනෙක්. ඉතින් මේ සම්බන්ධය ගැන සනත් නන්දසිරි මහතාත් දැනගෙන හිටියා. ඉතින් මිතුරාව මුණගැසුණු අතරේ සනත් නන්දසිරි මහතා විමසනවා කොහොමද අර කාරණේ කියලා. ඔහු කියනවා, "හොඳම දවසේ සනත් ඔයා අද ඇවිත් තියෙන්නේ. අද තමයි මම මේ ගැන තීන්දුවක් ගන්නේ. ඇය අද මට උත්තරයක් අද දෙනවා කිව්වා." එහෙම කිව්ව මිත්‍රයා සෙනග අතරේ නොපෙනී ගියා.


ටික වෙලාවකට පස්සේ සෙනග ටිකක් අඩුවුණාම සනත් නන්දසිරි මහතා තම මිත්‍රයාව හොයනවා. කෙනෙක් කියනවා ඔහු පන්සලේ බිත්තියකට ඔළුව තියාගෙන ඉන්නවා කියලා. පස්සේ මිතුරාව හොයාගෙන ගියාම ඔහු අර කිව්වා වගේම බිත්තියට හිස තියාගෙන අඬනවා. නන්දසිරි මහතා දුටු ඔහු, "සනත්, අදින් අපේ අවුරුදු 10ක 12ක ප්‍රේම කතාව ඉවරයි. මට ඉවසන්න පුළුවන්. නමුත් මට ඉවසන්න බැරිම දේ තමා ඇය අන්තිමට හිනාවෙන ගමන් කියනවා සංසාරේ හැටි ඔහොම තමයි කියලා".


මේ සිදුවීම සනත් නන්දසිරි මහතාගේ හිතට ගොඩක් වදිනවා. පසුකාලීනව මේ කතාව එතුමා තම මිතුරු ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ට කියනවා. එතුමා අතින් තමා මේ ගීතය සනත් නන්දසිරි මහතා හදපු තනුවට ගැලපෙන ආකාරයට වචන යොදලා ලියවෙන්නේ.


හැබැයි මේ ගීතය මුලින්ම ලියන්න ඉඳලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා. මේ ගීතයේ තනුව නිර්මාණය කරලා එය කැසට් පටියකට අරගෙන සනත් නන්දසිරි මහතා, ප්‍රණීත් අභයසුන්දරයන්ට දෙනවා මේක ගෙනිහින් දීලා ගීතයක් ලියවාගන්න කියලා. සාමාන්‍යයෙන් සනත් නන්දසිරි මහතා තමාගේ ගුවන් විදුලි වැඩසටහනක් හෝ කැසට් පටයක් හෝ කරන කොට බොහෝ ශිල්පීන් පිරිසක් සම්බන්ධ කරගන්නවා. නවකයින්ටත් එතුමා අවස්ථාවක් දෙනවා. මේ අතරේ ඉතින් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ට ඕන වෙලා තිබුණේ තමා සේවය කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම ආචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලවා හොඳ ගීතයක් නිර්මාණය කරවාගන්න. නමුත් එතුමාගේ කාර්ය බහුලත්වය නිසා ඒ දේ කරදෙන්න බැරි වෙලා තියෙනවා.


දැන් පටිගත කිරීම දවසේ අවසානයේ දී හිස් කැසට් එක ආපහු studio එකට අරගෙන එන ප්‍රණීත් අභයසුන්දරයන්ට, සනත් නන්දසිරි මහතා කියනවා "ඔයාම ලියන්න. දැන් මේක රෙකෝර්ඩ් කරන්න තියෙනවානේ" කියලා. ඉතින් මේ තනුව අභයසුන්දරයන්ට හොඳට කටපාඩම්. අර මිත්‍රයාගේ සිද්ධියත් එතුමා දැනගෙන හිටපු නිසා ක්ෂණිකව ම ඒ සිද්ධිය මේ තනුවට ගලපලා එතුමා මේ ගීතය රචනා කරනවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page