top of page
Search

ඇවිලුණු ගිනි දැල්

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 2 min read

හඬ හා තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද: විමලධර්ම ජයවීර


ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී // හිරු අවරට ඇදුනා පාලුව තනිකම රජයන විටදී // ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී... සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී // රහසක් මට කීවා සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී // ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී...


1950 දශකයේ අග භාගයේදී සනත් නන්දසිරි නම් තරුණයා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයට යනවා තබ්ලා වාදනය ගැන වැඩිදුර හැදෑරීමට. එහෙම ගිය එතුමා තබ්ලා වාදනයට සහ ගායනයට විශාරද උපාධි ද්විත්වයක් දිනාගෙන ලංකාවට පැමිණෙනවා 1960 දශකයේ මැද භාගයේ දී.


එහෙම පැමිණි එතුමා මුණගැසෙනවා එවකට ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් පාලක පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා සහ පණ්ඩිත විමල් අභයසුන්දර මහතා. ඔවුන් දෙදෙනා නිර්මාණය කල ගීත නාටකයක සනත් නන්දසිරි මහතා මුල්වරට ගීත ගායනා කරනවා. මෙතුමාගේ ගායන හැකියාව දුටු එවකට ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සිටි පී. එල්. ඒ. සෝමපාල මහතා මෙතුමාව ගුවන් විදුලියේ වෙනත් අංශයකට රැගෙන ගිහින් ගීතයක් තැටිගත කරනවා. ඒ මේ ගීතය. ඒ කියන්නේ මේ ගීතය තමා මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගුවන් විදුලියේ මුලින්ම ගායනා කල ගීතය.


එසේම මෙහි තනුව මහාචාර්යතුමා නිර්මාණය කර ඇත්තේ, කලාවතී රාගය ඇසුරින්. එතුමාට කලාවතී රාගය ගැන දැඩි ඇල්මක් ඇති වී ඇත්තේ, භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේ එවකට පාකිස්ථානයේ අතිශය ජනප්‍රිය ගායක සොහොයුරන් දෙපල වන උස්තාද් නසකාත් අලි ඛාන් (1928-1984) සහ සලාමාත් අලි ඛාන් (1934-2001) ගේ ගායන ප්‍රසංගයක් බලන්නට ගිය අවස්ථාවේ දී. එදා ඒ දෙපල ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ, කලාවතී රාගය ගයමින්. එදා තමා මහාචාර්යතුමා ප්‍රථම වරට කලාවතී රාගය අහලා තියෙන්නේ. නමුත් විශාරද උපාධියට කලාවතී රාගය නියමිත නැහැ. එය එන්නේ නිපුන් උපාධිය ඉගෙන ගන්නා විටයි. එතකොට විශාරද උපාධියටත් නොමැති රාග ගැනත් එතුමාට අවබෝධයක් තිබිලා තියෙනවා. එදා ඒ ප්‍රසංගයේ අහපු මතකය නිසාම ඒ රාගය ගැන උනන්දු වී එතුමා මේ ගීතය නිර්මාණය කර තිබෙන්නේ.


කලාවතී රාගය මෙතන දී යොදාගන්නට විශේෂ හේතුව තමා ඒ රාගයේ එන ස්වර සංගතිවලට පුළුවන් සිතේ තිබෙන අවුල් සහගත ස්වභාවය යටපත් කරලා නිවී සැනසෙන තත්ත්වයට පත්කරන්න. ගිනිදැල් නිවි නිවි යනකොට ප්‍රේමයක් හිමිවුණ කෙනෙකුගේ හිතට දැනෙන සිතුවිලි ඉස්මතු කර දෙන්න ඕන නිසා කලාවතී රාගයට එතුමා යොමුවෙනවා. කලාවතී රාගය සාමාන්‍යයෙන් අහන්න හොඳ රාත්‍රී 9 ත් මධ්‍යම රාත්‍රී 12 ත් අතර කාලය. නිකමට වගේ මේ ගීතය ඒ වෙලාවට අහන්න බලන්න.

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page