ඇය යන්න ගියා මැකිලා
- මාධව විජේසේකර
- May 3, 2017
- 2 min read



ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසිදින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා ...
මේ ගීතයේ තනුව නිර්මාණය කරලා සංගීත පථය එහෙමත් නැත්නම් Music Track එක පටිගත කලේ 2001 වසරේ මාර්තු 29 දා. මම එහෙම බය නැතිව කියන්නේ මේ ගීතයේ sound track එක පටිගත කිරීම අවසන් කරලා පැයකට විතර පස්සේ තමයි ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසංගයකට ගිය මාලනී බුලත්සිංහල මහත්මිය එහිදී මියගියා කියන ආරංචිය මෙහි තනු නිර්මාණය කල එච්. එම්. ජයවර්ධනයන්ට දැනගන්න ලැබෙන්නේ. ඒක හරිම සංවේදී අවස්ථාවක්.
බොහෝ අය හිතාගෙන හිටියා ඒ කාලයේ දී මේ ගීතය නිර්මාණය වුණේ මාලනී බුලත්සිංහල මහත්මිය වෙනුවෙන් කියලා. එහෙම හිතපු එක සාධාරණයි. මොකද ගීතයේ පද මාලාව බැලුවාම එහෙම හිතෙනවා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. එතුමියගේ මරණයත්, මේ ගීතය නිර්මාණය වීමත් එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක්. නමුත් දෛවෝපගත ලෙස ඒ දෙක එකට බද්ධ වී තිබීම හරි පුදුමයි නේද ?
ඇත්තටම එදා ඒ සිදුවීමේ සාක්ෂිකරුවන් ලෙස මේ ගීතය ගැයූ අමරසිරි පීරිස් මහතාත්, ඒ දිනවල එච්. එම්. ජයවර්ධනයන්ගේ නිවසේ නේවාසිකව සිටි ප්‍රවීණ ගේය පද රචක, රත්න ශ්‍රී විජේසිංහයනුත් එක්තරා රූපවාහිනී වැඩසටහනක දී මෙහෙම කිව්වා.
"එදා පටිගත කිරීම සිදු කරලා අවසානයේ දී ශබ්දාගාරයෙන් එළියට ඇවිත් එච්. එම්. ජයවර්ධනයන් බිත්තියට ඔළුව තියාගෙන කියනවා 'මට අද හරිම අමාරුයි. හරිම අමුත්තක් දැනෙනවා.' එහෙම කියන්නේ ඇස් දෙකේ කඳුළු පුරවාගෙන. ඊට පැයකට පස්සේ ඒ අමිහිරි ආරංචිය එනවා".
ජීවිතයේ තමා ළඟින්ම ඉඳිමින්, තම ඕනෑ එපා කම් බලා දුක සැප බෙදා ගත්, තම ආදරණීය බිරිඳ තමා හැර යන බව එච්. එම්. ජයවර්ධනයන් දැන සිටියාවත් ද?